මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ

February 22, 2021 at 9:39 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) ආරම්භවීමට නියමිතව තිබෙනවා. අද ආරම්භ වන 46වන මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වෙනවා.

මෙවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඉතිහාසයට එක්වෙනවා. ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ මෙම සැසිවාරය පැවැත්වීම හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අන්තර්ජාලය ඔස්සේ ලබන 24වන දින මානව හිමිකම් කවුන්සිලය අමතමින් දැනුම්දීමට නියමිතය.

එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කරඇති බවද වාර්තා වේ.