කොමිෂන් වාර්තාව අධ්‍යනය කිරීමට සය පුද්ගල කමිටුව නම් කලේ සාමාජිකයින්ගේ දැනුම සහ පළපුරුද්ද සාධක කර ගනිමින්

February 22, 2021 at 3:50 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත්කළ සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ කේෂ්ත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.

මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යවසනයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානයක් වන බවත් මෙම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහ ජිවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ.

ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප්‍රස්ථාව විවෘත කරයි. ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමටනම් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ අවුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුලුවන ප්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.

මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රනයේ අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබේ.

ජනාධිපතිතුමා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂම් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයනට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පටිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.