කරුණු 07ක් මත කොවිඩ් මරණ භුමදානයට අවසර දුන්නා – ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා “හිරු” නාලිකාවත් සමග පවසයි (VIDEO)

February 13, 2021 at 10:57 PM

කොරෝනා මරණ භුමදානයට සහ ආදාහනයට තමන් ඇතුළු කමිටුව අවසර ලබා දුන් බව කොරෝනා මරණවල අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.

” හිරු TV” පෞද්ගලික රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ තමන් ඇතුළු 09 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායම ඉකුත් දෙසැම්බර් මස 24 වෙනිදා පත් කළ බවත් අදාළ වාර්තාව දෙසැම්බර් මස 28 වෙනිදා ලබාදීමට කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළා.

මෙම නිර්දේශ ඉතා ඉක්මනින් අවශ්‍ය බව දැනුම් දුන්නා. ඒ නිසා අපි හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කළා යැයි ජේෂ්ඨ මහාචාර්යවරිය ප්‍රකාශ කර සිටියා.

” අපි කිව්වා ආදාහනය මෙන්ම භූමදානය කියන දෙකටම අවසර දෙන්න කියලා. භූමදානය කිරීමේදී අපි නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කළා.

1. ඒ භූමදානය කරන සිරුරක් නම් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කරන්න ඕන සහ ඔහු එම කටයුත්ත අධීක්ෂණය කළ යුතුයි.

2. භූමදානය කරන සිරුර එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ.

3. පැය 24ක් තුල භූමදානය හෝ ආදාහනය කළ යුතුයි.

4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් මියගිය පුද්ගලයාගේ දේහය ආරක්ෂිත දුරකින් සිට බලන්න දෙන්න අවසරය ලබා දෙන්න.

5. භූමදානය කරනවා නම් වතුරට නිරාවරණය නොවන විදිහේ ඩබල් බොඩි බෑග් ( මල සිරුරූ බහාලන බෑග් දෙකක) එකක මෘත ශරීරය තැන්පත් කරලා එය මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුයි.

6. ආදාහනය හෝ භූමදානය කරන ස්ථානයට ආගමික නායකයෙක්ට ගොස් ආගමික කටයුතු සඳහා අවසරය ලබා දෙන්න…

7. මිනි පෙට්ටියට බාහාලිමෙන් අනතුරුව කිසිම හේතුවක් නිසා එය විවෘත නොකළ යුතුයි.

මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි ඇය සඳහන් කළේ.

කොවිඩ් ආසාදීත මරණ භූමදානය කිරීමේදී භූගත ජලයට වෛරසය ඇතුල්වීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකලාද යන්න සම්බන්ධයෙන් ජේෂ්ඨ මහාචාර්යවරියගෙන් විමසා සිටියා.

ඊට පිලිතුරු දෙමින් ඇය කියා සිටියේ එවැනි පරීක්ෂණයක් මෙරටදී සිදුකර නොමැති බවයි. විදේශ රටවල සිදුකර ඇති පර්යේෂණ වාර්තා පදනම් කර ගෙන තමන් ඇතුළු විද්වත් කමිටුව වාර්තාව ලබාදුන් බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.