ඉන්දියාවෙන් ආ එන්නත ගැනීම හෝ නොගැනීම ජනතාවගේ ස්වාධීන තීරණයක්. එන්නත් තොගය බෙදාහැරීමට කටයුතු සැළසේ!

January 28, 2021 at 1:58 PM

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ නිල ෆේස් බුක් පිටුවේ සටහන පහත පරිදි වේ.

“ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලට ළගා විය.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි. එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත.

සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබේ.

එන්නත ලබා දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 03ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයකි. අකමැති අයට නොගෙන සිටීමට හැකි බව ද වීරතුංග මහතා කියා සිටී.”