නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු විභාග වන පැමිණිල්ලක් සඳහා උඩුගම පොලිස් ස්ථානයට පැමිණීම නිසා උඩුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයකු නිරෝධායනයට ලක්කර ඇති බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා කොළඹදී PCR පරීක්ෂණයකට ලක්ව ඇත. මොහු කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක රියැදුරකු ලෙස සේවය කරන අයෙකු වන අතර ඔහු උඩුගම දකුණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
PCR පරීක්ෂණ ප‍්‍රතිඵල ලැබීමටත් පෙර මෙකී පුද්ගලයා නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පොලිසියේ විභාග වන පැමිණිල්ලක් සඳහා ඊයේ (21) පොලිසියට පැමිණ ඇත්තේ අසල්වැසියෙකු විසින් තමන්ට අපහාස කරන බවට මොහු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම හේතුවෙනි.
සුළු පැමිණිලි අංශයෙන් මෙම පැමිණිල්ල විභාග කර ඇති අතර දෙපාර්ශවයේම අය මේ ගැන සෑහීමකට පත්නොවීම නිසා පැමිණිල්ල විභාග කිරීම සඳහා උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමුකර ඇත.
ස්ථානාධිපතිවරයා මෙකී පැමිණිල්ල විභාග කර පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ටික වේලාවකට පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මෙකී පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බව සඳහන් කර ඇත.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු නිරෝධායනයට යොමුකර තිබේ