පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාගේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සැකකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 10 දෙනෙකු අතරින් 9 දෙනෙකු නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉකුත් 19 වන දා නියෝග කරනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ තඹ කර්මාන්තශාලවේ සේවය කළ කම්කරුවන් 10 දෙනෙකු හුදු සැකය මත වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු බවත් අත්අඩංගුවට ගත් දිනවල ම ඒ අතරින් 9 දෙනෙකු නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණු බවයි.
කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කළ ද ඔවුන්ට එරෙහිව තොරතුරු අනාවරණය නොවීම හේතුවෙන් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් නිදහස් කිරීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පාස්කු ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 268 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතරින් 195 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩි දුරටත් පැවසුවේ.