ධමිමික පැණිය අද නොමිලේ බෙදා දෙයි (VIDEO)

January 21, 2021 at 4:15 PM

මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද(21) නොමිලේ ලබා දීමක් සිදු විය. ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණි බෝතල් 5000ක් නොමිලේ ලබා දීම සිදුකර තිබෙනවා.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත් බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

අප වාර්තාකරු සඳහන් කළේ, වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බවයි.

මේ අතර සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු කොවිඩ් වෛරසයට එරෙහිව තමා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය විවේචනය කිරීමෙන් වළකින ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර ඉල්ලා සිටිනවා.

මේ අතර, පේරාදෙණිය පොලීසියේ වෛද්‍යවරයෙකු විසින් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව මාධ්‍යවේදින් විසින් ධම්මික බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ධම්මික බණ්ඩාර මහතා,

“පසුගිය දිනක වෛද්‍යවරු දෙදෙනෙකුත් මම දන්න කියන වෛද්‍යවරයෙක් කාලයක් තිස්සේ ආපු අනුරාධ කොළඹගේ කියලා වෛද්‍යවරයෙකුත් තව පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුත් හා හෙදියන් දෙදෙනෙකුත් රෑ වෙලා 7.30 – 8.00 වගේ මගේ ස්ථානයට ආවා. ඇවිත් මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහුවා. ටික වෙලාවකින් මට දැනුනා කවුරුහරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. එතුමාගේ දුරකථනය ගෙන පරීක්ෂා කරද්දි එතුමා දීර්ඝ වේලාවක් මේක රෙකොඩ් කරලා තිබුණා කතාව සම්පූර්ණයෙන් වගේ. අපි අවවාද කළා ඔබතුමා වෛද්‍යවරයෙක් ලෙස මේ කරන දේ වැරදි කියලා. එතනට ආපු වෛද්‍යවරු කිව්වා මේක පොලීසියට දෙන්න එපා කියලා. පොලීසියෙන් ඒ වෙලාවේ මෙතෙනට ආවා. වැදලා ඉල්ලුවා මේක පොලීසියට කියන්න එපා රැකියාවට බාධාවක් කියලා. ඒ නිසා අපි පොලීසියට පැමිණිලි කරේ නෑ. නීතියෙන් මගේ තැනට ඇවිල්ලා මටම හානියක් කරන කෙනාට ද වරද තියෙන්නේ නැතිනම් ඒ කෙනා ගිහින් දාන බොරු චෝදනාවට ද වරද තියෙන්නේ. මේ කරන සායනික පරීක්ෂණය නිමවෙන තුරු කාටවත් චෝදනාවක් එල්ල කරන්න බැහැ මේ බෙහෙත හරි ද වැරදි ද කියලා. එතුමාගේ සියලු කතා අපේ ළමයි වීඩියෝ ගත කළා ඒවත් අද අපි මාධ්‍යයට මුදා හරින්න කැමති.“

එම සිදුවීම සිදුවන අවස්ථාවේ දී වීඩියෝ ගත කරන ලද දර්ශන පෙළෙක් ඒ අනුව මුදාහරිනු ලැබීය.

එහිදී පේරාදෙණිය පොලීසියට පැමිණිලි කළ බවට පැවසෙන වෛද්‍යවරයා මෙසේ සඳහන් කරයි.

“අපේ සර් අද දවල් කිව්වා හදිසි ගමනක් යනවා යමුද කියලා. මම නෝනට කිව්වහම එයා කිව්වා ඔයා යන්න, ගිහින් බලන්න, ගියාම ඔයාට ම සත්‍ය තේරෙයි කියලා. ඇත්තටම මම ආවේ, යමක් බලන්න තමයි. ඇත්තටම සත්‍ය තේරුණා දැන්. මට සත්‍ය තේරෙනවා. නෝනා විසින් මාව මෙතෙනට එවලා මට දඬුවම් දුන්නාද කියලා මට හිතෙනවා. මම දඬුවම් වින්දා. මින් ඉදිරියට සමහරවිට මෑණියන්ගේ මේ කර්තව්‍යයට වෛද්‍යවරු විරුද්ධ වුණත් මම ඒකට නැඟීසිටි කියලත් මම දැන් බලාපොරොත්තු වෙනවා උපරිමයෙන්. මම එහෙම විරුද්ධව කතා කරලත් නෑ කොහෙවත්. මම ෆේස් බුක් එකේ ෂෙයා කරා විතරයි. නෝනා මාව එව්වේ අම්මලටත් එක්ක පැණි ගේන්න කියලා. ඒ හින්දා මම දඬුවම් වින්දා. නෝනට පෙන්නන්න තමයි මම ඕක වීඩියෝ කෙරෙත්. ඒක නිසා මට සමාව දෙන්න. මින් ඉදිරියට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ.“