තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට විකුණා ලබාගත් මුදලින් හෙරොයින් පානය කර එම මුදල් අවසන් වූ පසු මහරගම, පමුණුව ප‍්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගයේ පදික වේදිකාවේ වෙළඳාම් කරන ජංගම වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ නිමි ඇඳුම් හා රෙදිපිළි සොරකම් කළ පුද්ගලයකු මහරගම පොලිසිය පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සතුව හෙරොයින් ග‍්‍රෑම් 02 මිලිග‍්‍රෑම් 150ක් තිබී සොයාගත් බවත්, මෙම පුද්ගලයා මහරගම පොලිස් ස්ථානය වෙත රැුගෙන විත් සිදුකරන ලද දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලදී පමුණුව ප‍්‍රදේශයේ ජංගම වෙළෙඳුන්ගෙන් හා පදික වෙළඳුන්ගෙන් සොරකම් කරන ලද රෙදිපිළි තොගය පිළිබඳව සුලමුල සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට වඩා අධික නිමි ඇඳුම් සහ රෙදිපිළි පිටකොටුව ප‍්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 36ක් වන මෙම සැකකරු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, රෙදිපිළි සියල්ල විකුණා ලබා ගත් මුදලින් හෙරොයින් පානය කර ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සොරකම් කරන ලද රෙදිපිළි අතර කුඩා ළමුන්ගේ නිමි ඇඳුම්, කාන්තා නිමි ඇඳුම් හා ඩෙනිම් වර්ගයේ කලිසම් සහ කමිස තොගයක් ද තිබූ බව පොලිසිය පැවසුවේ.
පෑලියගොඩ සිට අලූයම් කාලයේ දිනපතාම අත්තිඩිය, බඩෝවිට ප‍්‍රදේශයට හෙරොයින් ලබා ගැනීම සඳහා පැමිණෙන මෙම සැකකරු එම ස්ථානයෙන් හෙරොයින් ලබාගත් පසු මහරගම ප‍්‍රදේශයට පැමිණ පන්සල පාර හා පමුණුව පාර අතර දුම්රිය පටුමග ප‍්‍රදේශයේ රහසිගත ස්ථානයකදී හෙරොයින් පානය කර ඉන්පසුව පමුණුව හා හයිලෙවල් මාර්ගයේ පදික වෙළෙඳුන් විකිණීමට රැුගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි ඇසුරුම් කළ විශාල මලූ සොරකම් කර ත‍්‍රිරෝද රථයකින් බස් නැවතුම්පොළ වෙත ගෙනගොස් මාර්ග අංක 138 මහරගම, පිටකොටුව බස්රථවලින් පිටකොටුව ප‍්‍රදේශයට ගෙන ගොස් එම ප‍්‍රදේශයේ වෙළෙඳසල්වල හිමිකරුවන්ට විකුණා ඇති බවට ද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.