නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක හප්පා පලා යාමට උත්සහ කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදන්වූ ඉන්දීය ධීවරයන් සොයා පෙරේදා (18) උතුරු මුහුදේ නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම ධීවර යාත්‍රාව මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට සීමාවට ඇතුළු වී ඇත. යාපනය ඩෙල්ෆ්ට් දූපතට කිලෝමීටර් 15ක් පමණ ඈතින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා රාත්‍රියේ නාවික හමුදා මෙහෙයුමක් අතරවාරයේදීය.
පෙරේදා උතුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණු අතර එහිදී ට්‍රෝලර් යාත්‍රා පනහකින් පමණ පැමිණි ඉන්දීය ධීවරයන් පිරිසක් නීති විරෝධී අන්දමින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටිනු නිරීක්ෂණය වී ඇත.
එහිදී නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට ගිය ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව අනතුරට ලක්වන අන්දමින් ගැටීමට සලස්වා පලාගොස් ඇති අතර එලෙස පලා යාමට තැත් කළ එක් යාත්‍රාවක් පෙරළී ගොස් තිබේ. අනතුරට ලක්වීම හේතුවෙන් නාවික හමුදාවේ වේග ප්‍රහාරක නෞකාවටද අලාභ හානි සිදුව ඇත.
අනතුරට පත් යාත්‍රාවේ කොපමණ ධීවරයන් පිරිසක් සිටියේද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, මෙම ධීවරයන් සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සහ නාවික කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩව මෙහෙයුම් කරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා සඳහන් කළේ.