අද කොවිඩ් ආසාදිතයින් 770ක් සහ එක් මරණයක් : පිටකොටුවේ ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයින් 10ක් හමුවෙයි

January 20, 2021 at 9:35 PM

අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 770 දෙනෙකු සහ එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,189 ක් සමස්ත මරණ සංඛ්‍යාව 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ දෙවන කොවිඩ් රැල්ලෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,329ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 7,700 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 47,215ක්.

අද දිනයේ වාර්තා වූ කොවිඩ් මරණය මිගමුව, මල්ල්වගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක ගේ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගෙන් 10 දෙනෙකු කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් සොයා ගෙන ඇත. ඊට අමතරව නාවලපිටිය, පස්භාගේ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 20ක් සහ වව්නියාව නගරයෙන් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවෙදනය කර සිටියේ.