ධම්මික පැණිය බිව් මන්ත්‍රී පවුලටම කොවිඩ් : පැණිය ගන්න රට වටෙන්ම ආපු මිනිස්සු නිසා වෛරසය කෑගල්ලේ පැතිරුණා

January 18, 2021 at 1:30 PM

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකිවනු ඇති බවට වූ විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමා ද බිරිඳ ද සිව් නිවුන් දරුවන්ද පානය කළත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කර සිටිනවා.

“ලංකාදීප” පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

ධම්මික පැණිය පානය කළ තමාගේ සහෝදරයාට ද ඇතුළුව ඥාතින් සහ හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

මට අවුරුදු 08 ක් වයසැති සිව් නිවුන් දරුවන් ඉන්නවා. ධම්මික වෙද මහත්තයා ඉන්න මගේ නිවසේ ඉදන් කිලෝමීටර් 02ක් දුරින්. ඔහුගේ අතින්මයි මම පැණි බෝතලය අර ගත්තේ.

මස් මාළු හෝ බිත්තර නොකා මමයි පවුලේ අයයි කිව්ව විදිහට මගේ පවුලේ නෝනා, දරුවන් එක්ක පැණිය පාවිච්චි කළා.

මුලින් ලොකු දුවට උණ හැදුනා. ඇන්ටිජන් පරීක්ෂණයෙන් හෙළිවුණා ඇය කොවිඩ් ආසාදිතයි කියලා. පස්සේ අනිත් දරුවන් තිදෙනාගේ, බිරිඳ සහ මගේ පරීක්ෂණ කළා. අපිත් කොරෝනා ආසාදිතයින් කියලා හෙළිවුණා. දැන් අපි පවුලම ඇඹිලිපිටියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.

මම මේ පැණිය සාර්ථක වෙන්න කියලා මුහුණු පොතේ සටහනක් පවා තැබුවා. මේ පැණිය ලබා ගන්න ලංකාවේ හැම තැනින්ම මිනිස්සු ආවා. ඒ නිසා අපේ පළාතේ වෛරසය ව්‍යාප්ත වෙන්න එය බලපෑවා. නමුත් මේ පැණිය කොරෝනා වෛරසයට ප්‍රතිකාරය නොවේ” ඔහු කියා සිටියා.