විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයට මා සුදානම් නැහැ – ජනපති කියයි

January 9, 2021 at 7:02 PM

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක් බවත් ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටිනවා.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා.

” පසුගිය කාලයේ දී අපේ අයව යහපාලන රජයේ අය නිකරුනේ සිර භාරයට ගත්තා. නමුත් ඒ අය සම්බන්ධයෙන් අද නිතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙය සිදුවන්න ඕන. ඒ ගැන විපක්ෂයත් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ අය තවමත් පාදඩ දේශපාලනය කරනවා. පසුගිය දවස්වල හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ ගැන බලන්න. එය එසේ සිදුනොවිය යුතුයි.

මට නන්දසේන ගෝඨාභය කියනවා. ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි. හොද නම් ඒවා. මට චරිත දෙකක් තියෙනවා. අපේ හාමුදුරුවන් කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි ඉස්සර හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභයයි ඕන කියලා. ජනතාව කියනවා ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. මට ඒකත් කරන්න පුළුවන්. සැරෙන් ඉන්නත් පුළුවන්. මට ඒ චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම්. මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කලේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දැම්මේ. මට ඕන චරිතයක් කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. විපක්ෂය උනත් දේශපාලනය කරන්න ඕන. හැබැයි ජනතාවට අවශ්‍ය දේශපාලනය සිදුකරන්න ඕන. නමුත් මා විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැතැයි ” මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහන මෙයයි.
2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර, සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය. ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේය.

ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.

රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා සිසුන්ට භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.