පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරයි

January 9, 2021 at 9:48 AM

අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ලවී තිබෙන සැකකරුවන් වන්නේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමෙඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන අයවළුන් වනවා.

මෙම සැකකරුවන් තිදෙනාම විදේශ ත්‍රස්ත කණ්ඩායමකට සහය දැක්වීම, අමුද්‍රව්‍ය සැපයීම යන චෝදනා එල්ල කොට තිබෙන අතර නව්ෆර් සහ මිල්හාන් යන සැකකරුවන් IS ත්‍රස්ත පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වෙන වෙනම චෝදනා නගා තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI නිලධාරින් විසින් ශ්‍රී ලංකා බලධාරින් ගේ සහය ඇතිව සිදුකළ විමර්ෂණ අනුව මෙම චෝදනා නැගීම සිදුකොට ඇත.

මෙම ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණ බෝම්බකරුවන් 08 දෙනාටද කරුණු 09 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට ඇත.

අමෙරිකාව තුල හෝ ඉන් පිටත රටකදී හෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එමගින් ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ පවුල්වල ඥාතින්ට එය අස්වැසිල්ලක් වනබවයි සිද්ධිය ගැන විමර්ෂණය කරනු ලබන FBI ලොස් ඇන්ජලිස් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිස්ටි කේ. ජොන්සන් සඳහන් කර සිටින්නේ.