ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන එම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විකුණා දැමු බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කර සිටිනවා.
පක්ෂ රැස්වීම් කිසිවක් තමන්ට දැනුම් නොදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ සෙසු සාමාජිකයින්ට දැනුම් දී ඇති බවයි මෙහිදී හිටපු ජනාධිපතිනිය චෝදනා කර සිටියේ.
හිටපු ජනාධිපතිවරයා නීතිවිරෝධී ලෙස පක්ෂයේ සභාපතිකම දරමින් සිටින බවත් තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක් බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙහිදී ප්‍රකාශ කර සිටියා.
පක්ෂයේ නායකත්වය විසින් කරනු ලබන අසාධාරණ ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ ශ්‍රී ලංකා පක්ෂයේ සාමාජිකයින් කනස්සල්ල පළ කර ඇති බවයි මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 122 වෙනි උපන්දිනය අදට යෙදී තිබෙන අතර එම මහතාගේ පිළිරුවට ගෞරව දක්වමින් පුෂ්පෝහාර පැවැත්වීමේ උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළකර සිටියා.