මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක්

January 8, 2021 at 10:37 AM

නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා පැවති වැඩමුළුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මළ අපද්‍රව්‍ය සියයට 90ක් පමණ ඍජුවම භූගත ජලයට එකතු වී ඇති බවට පර්යේෂකයන් සොයාගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී නිවාස සැලසුම් සකස් කිරීමේදී, කර්මාන්තශාලා සහ හෝටල් ඉදිකිරීමේදී ක්‍රමවත් මල අපද්‍රව්‍ය බැහැර කිරිමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.