වසර 10ක සිට නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක් පිළිබඳ තොරතුරු අද (07) අනාවරණය විය.
හෝමාගම පොලීසිය විසින් මෙලෙස නීතිවිරෝධී අයුරින් නල ජලය ලබාගෙන තිබූ අතර එම සම්බන්ධතාවය අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද (07) කටයුතු කළේ.
හෝමාගම පොලීසිය නීතිවිරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය අද එහි ගොස් තිබූ අතර එහිදී මෙම නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන තිබුණා.
හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර පසුකාලීනව ඉන් තුනක් විසන්ධි කිරීමට කටයුතු කර ඇත.
එසේ විසන්ධි කරන ලද මාර්ගයක් ඔස්සේ මෙලෙස නීතිවිරෝධී ලෙස යළිත් ජලය ලබාගෙන තිබූ බව අනාවරණය විය.
මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.