කොවිඩ් මරණ ආදාහනය කිරීම සිදුකරන බව සෞඛ්‍ය ඇමැතිනිය කියයි : භූමදානයට අවසර දීලා ඇති බව විපක්ෂ මන්ත්‍රී පෙන්වා දෙයි (VIDEO)

January 7, 2021 at 8:10 PM

කොවිඩ් දේහ ආදාහනය කරන්නේද? භුමදානය කරන්නේද? යන්න පිළිබඳව වෛරස විශේෂඥ කණ්ඩායමක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හමුවී නොනිල වශයෙන් ඉදිරිපත් කළ මතය ඊට අදාළ ප්‍රධාන කමිටුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තීන්දුව ගනු ලබන්නේ දේශපාලන, ආගම් හෝ ජාති පදනම්ව නොව එය හුදෙක්ම වෛද්‍ය විශේෂඥයින්ගේ සාක්ෂි මත පදනම්ව ගනු ලබන බව අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ.

“දැනට කොවිඩ් රෝගයෙන් මියයන්නන්ගේ මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබාදීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළයුතු බවයි. එම නිසා එම පැහැදිළි නිර්දේශය අපි ක්‍රියාත්මක කරනවා. වෛරස විශේෂඥ කණ්ඩායමක් රාජ්‍ය ඇමිතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හමුවුණා. ඒක මේ ප්‍රධාන කමිටුව නෙමෙයි. එතුමන්ලගෙ මතය ලිඛිතව දීලා තිබුණා. ඒක අපි ප්‍රධාන කමිටුවට යොමු කළා. ප්‍රධාන කමිටුවෙන් තාම අපිට වෙනම තීරණයක් ආවේ නෑ. ප්‍රධාන කමිටුව මෙය අධ්‍යයනය කරමින් සිටිනවා.” යනුවෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොන්නම්බලම් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.