වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට ජනපති 18 පුද්ගල කොමිසමක් පත් කරයි

January 7, 2021 at 8:16 PM

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෙම කොමිෂමේ සම සභාපතිත්වය හොබවනු ලබනවා. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පත් කර තිබේ.

,මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,

01- ඉඩම්කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් – එස්.ඩි.ඒ.බී. බොරලැස්ස
02- විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් – එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු
03- අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – සුරේෂ් ද මෙල්
04- රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – සී. වැලිගමගේ
05- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ – ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ
06- සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල්
07- ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන
08- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ
09- සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී –
රංජිත් ගුණතිලක
10- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා – රේණුකා වීරකෝන්
11- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික -ජෙරාඩ් ඔන්ඩට්ච්චි
12- නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, අධ්‍යක්ෂ (විධායක නොවන) – අර්ජුන් ප්‍රනාන්දු
13- සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය – එස්.පී. ලියනාරච්චි

 විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම,

 වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම,

 දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම,

 දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම,

 ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කෙට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම,

මේ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂමට දින 90ක කාලයක් ලබා දී ඇත.සිය කාර්ය භාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිෂම සතු වේ.