ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැන සාකච්ජා ඇරඹේ

January 7, 2021 at 10:25 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට පාලනය කිරිමට තරම් සුදුසු මානසිකත්වයක නොමැති බව පවසමින් ඔහුව ධුරයෙන් නෙරපා හැරිමට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අතර මේ වන විට සාකච්ජා ආරම්භ වී ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කිරිමට හැකියාව ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු වී ඇත්තේ.

අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ කලහකාරී තත්ත්වය මිට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල දෙකක් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ට්විටර් සමාගම විසින් ඉදිරි පැය 12ක කාලයක් සඳහා ද ෆේස්බුක් සමාගම ඉදිරි පැය 24 ක කාලය සඳහා ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් අවලංගු කිරිමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට පළකරන ලද ට්විටර් සටහන් කිහිපයක්ම ඔහුගේ ගිණුමෙන් මකා දැමීමට එම සමාගම විසින් පියවර ගෙන තිබෙනවා.