දරු පවුලකට මරු කැඳවූ මහනුවර පස් මහල් ගොඩනැගිල්ලේ කඩා වැටීමට හේතුව හෙළිවෙයි

January 6, 2021 at 6:27 PM

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ දී පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ භූ විද්‍යාත්මකව හෝ ස්වභාවික හේතුන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගනු ලැබූ වැරදි තීන්දු සහ යොදා ගත් ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය නිසා බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ විසින් පත් කළ කමිටුව තීන්දු කර තිබෙනවා.

හිටපු බස්නායක නිළමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් මෙම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ඊට පහලින් පිහිටි නිවසක පදිංචිව සිටි මව, පියා සහ දින 50ක් වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්වුණා.

ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යුහය සම්බන්ධව ගැටළු රැසක් කමිටුව මගින් අනාවරණය කර ගෙන ඇත. ඊට අදාළ පිටු 24 කින් යුත් වාර්තාව කමිටු සාමාජිකයින් විසින් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදී තිබේ.

මහනුවර පොලිසිය මගින් කමිටුවේ වාර්තාවේ කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඔහු සඳහන් කර සිටියේ.