භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අසාධාරණයක් සිදුව ඇති බවට සාක්ෂි පැහැදිලිව ඇති බැවින් ඔහුට ජනාධිපතිවරයා විසින් සාධාරණයක් ඉටු කරන්නේ නම් එය වැරදියැයි කිසිවකුටත් කිව නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
“මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න පුද්ගලයෙකුට විධායක ජනාධිපතිවරයා සමාව දීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියා පටිපාටියක් හදලා තියෙනවා. ඒ අනුව ඒ තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කළයුතු දේ තමයි නඩුව අහපු විනිශ්චයකාර තුමාගෙන් වාර්තාවක් ඉල්ලා සිටීම. ඊට පස්සෙ නීතිපතිතුමාගෙන්. නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් අදහස් විමසනවා ඒ අභිචෝදක පක්ෂය මෙහෙයවපු නීතීඥවරයාගෙන්. එතකොට ඒ වාර්තාවත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තා දෙකම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළයුතුයි අධිකරණ ඇමතිවරයාට. එතකොට අධිකරණ ඇමතිවරයා මේ වාර්තා දෙකම සැලකිල්ලට භාජනය කරලා ඒ පිළිබඳ නිර්දේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම තමයි ඒ සමස්ත ක්‍රියාදාමය.
ඉතිං ඒ නිසා ජනාධිපතිවරයාට තනියම තීරණයක් ගන්න බෑ. ඊට අදාළ තව පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ නඩුව අහපු විනිශ්චයකාරවරයා, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා. ඒක තමයි උචිත ක්‍රියාදාමය.