යාල ගිය සංචාරකයින් සහ රියැදුරන් මුඛ ආවරණ පළදා නැහැ : යුක්රේන සංචාරකයින්ට සේවා සපයන ලාංකිකයින් සති 02ක් නිරෝධායනය විය යුතුයි

January 4, 2021 at 8:42 PM

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කර සිටියේ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීම නිසි පිරිදි සිදුවීම අනිවාර්ය බවයි.

“ඒ සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කරුණු අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම සංචාරකයින්ට සේවා සැපයීමේ කටයුතු වල නිරතවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළා.

” සංචාරකයින් හා ගැටෙන පුද්ගලයින් ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටිය යුතුයි. නිවෙස් බලා යෑම සිදුනොකළ යුතුයි. සංචාරකයින් රටින් පිටත්ව ගිය පසු ශ්‍රී ලාංකිකයින් සති 2 ක් නිරෝධායනය විය යුතුයි. මාර්ගෝපදේශන උල්ලංඝනය වුවහොත් විශාල ඛේදවාචකයක්. ක්‍රමවේදයෙන් පරිබාහිරව කටයුතු කළොත් අනිවාර්යෙන්ම නිරෝධායනය කරනවා. යාල දී ඇතිවුණේ එවැනි තත්ත්වයක්. විදේශිකයන්ගේ මුඛ ආවරණ නැහැ. රියදුරන්ගේ මුඛ ආවරණ නැහැ. ඔවුන් නිවෙස් වෙත යැවීම කළොත් කොවිඩ් ආසාදනය වීමක් සිදුවුවහොත් ප්‍රදේශයටම තර්ජනයක්. ” විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියා.