2020 ඉවරයි! ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ ඒ ගෙවුණු අවුරුද්ද කොයි වගේද ? 2019 ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජීව අල්විස් දැක් වූ කරුණු 25ක්.
1) අවුරුද්ද පටන් ගන්නකොටම වැට් බද්ද අඩු කළා. පහු ගිය ආණ්ඩුවෙන් මිනිසුන්ට දාලා තිබ්බ අසීමිත බදු ජනාධිපති තුමා නැති කළා. කොරෝන කාලෙ ඒ බදු එක්ක ජීවත්වෙන්න උනානං මිනිස්සු විනාසයි. මට මතකයි විපක්ෂය ජනවාරි මාසේ කියනවා ධනපතියන්ට බදු සහන දුන්නා, ඒ හින්ද මේ රට විනාස වෙවි කියලා. ඒගොල්ලන්ගේ හිතළු මුකුත් උනේ නෑ බදු සහනයෙන් හොඳක් වූනා මිසක්. යහපාලන ආණ්ඩුව ඩේටා කාඩ් වලට ගහපු බද්ද ම මතක් කරල බලන්න.
කවුරු මොනවා කිව්වත් වැට් එක අඩු වීම තුළින් රට ඇතුළේ මුදල් සංසරණය වැඩි වුණා. පඩිය අතට එන්න කලින්ම කපාගත්ත Paye tax එක අඩු කරල මධ්‍යම පාන්තිකයන්ට සහනයක් සැලසුව.
2) හාල් මිල පාලනය කරගන්න ගැසට් කිහිපයක් එව්ව තමයි. එකපාර කරන්න තිබ්බ වැඩේ කීප පාරක් දඟලලා කළේ. හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාර ගොවියට 50ක සහතික මිලක් ලැබුණා. සෝෂල් මීඩියා වල දඟල දඟල ඉන්න එකේ ගමකට ගිහිල්ලා ගොවියෙක් ගෙන් අහන්න පොහොර නිකං හම්බෙලා වී වලට පනහක් දුන්නහම ජීවිතේ කොයිතරම් වෙනස් උනාද කියල.
3) කොරෝනා පළවෙනි රැල්ලත අතිසාර්ථකව පාලනය කළා. ලෝකෙටම ආදර්ශයක් වුණා. කොරෝනා දෙවැනි රැල්ල පාලනයේ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ලෝකයේ හැම රටකම වගේ ලංකාවේ මිනී කඳු ගොඩ ගැහුනෙ නෑ. කඳු පිටින් මිනී ගොඩ ගැහුන නම් කාටවත් ආදාහනය ද භූමදානය ද කියලා ප්‍රශ්න එන්නේ නෑ .ජීවිතය බේරගන්න දඟලනව මිසක්. තාමත් එක මිනියක් භූමදාන කරලත් නෑ. බය නැතුව ඉවසලා ඉන්න තියෙන්නේ තව ටික දවසක්.
4) රටේ දුප්පත් ම මිනිස්සු ලක්ෂයක් බුද්ධි අංශ දාලා තෝරගෙන පලවෙනි පාරට දේශපාලන පත්වීම් නැතුව එයින් පනස්දාහකට රස්සාවක් දුන්නා. ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා අහන්න ඒකෙන් ජීවිතේ කොච්චර වෙනස් උනාද කියල. රැකියා විරහිත උපාධිධාරීන් ඔක්කොටම රැකියා දුන්නා. ලංකාවේ පවුල් කීයක් අලුත් ආදායම් මාර්ගයක් හදාගත්ත ද ?
5) ජාතික ආරක්ෂාව තහවුරු කළා. අන්තවාදී සංවිධාන බිහි වුණු ගමන්ම හඳුනගත්තා. ක්‍රියාමාර්ග ගත්තා. කාටවත් ජාතික ආරක්ෂාව ගැන බයක් තියෙනවද? කොරෝන හින්දා මිනිස්සුන්ට ජාතික ආරක්ෂාව අමතක වෙලා ගිහිල්ලා. හැබැයි ආණ්ඩුවට අමතක නෑ. යහපාලනය විසින් සුණු විසුණු කරපු ජාතික ආරක්ෂාව දැන් නැවත තහවුරු යි.
6) ආනයන සීමා කළා. ලිබරල් ආර්ථික න්‍යායන්ගේ ඔලුව පුරවා ගත්ත, ආචාරීන් වෙනුවට රටේ දුප්පත් මිනිසුන්ට වගාවක් කරල, නිෂ්පාදනයක් කරල සල්ලි හම්බ කරන්න විදියට ආර්ථිකය වෙනස් කළා. හොඳම උදාහරණය කහ. 1978 වෙනකන් ලංකාව කහ වලින් ස්වයංපෝෂිතයි. 78 ජේ ආර් ගේ අග්‍රගණ්‍ය ගෝලය
සෞම්‍යමූර්ති තොණ්ඩමන් පරිත්‍යාගයක් විදිහට ඉන්දියාවෙන් කහ ගෙන්නූව. ඊට පස්සේ ලංකාවේ කහ වවන එක ගොවියා නැවැත්තුවා. එදා ඉදන් අද වෙනකන් ලංකාවට කහ ගෙන ආවේ ඉන්දියාවෙන්. අද තමිල්නාඩුවේ වෙළෙඳුන්ට මාසෙකට කෝටි සියයක් පාඩුයි.කහ වවල විතරක්ම කොල්ලො කෙල්ලො ගොඩක් ගොඩ ගියා. උදාහරණ ඕනේ නම් කතා කරන්න. හදුන්කූර මැද තියෙන උණ ලී කීර පවා ඉස්සර රටින් ගෙන්නුවේ.
6) ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ශ්‍රේණි ගත කිරීම් වලින් ලංකාව පල්ලෙහාට දැම්මා. එම්සීසී අස්සන් කරපු නැති නිසා. හැබැයි මේ අවුරුද්දට ගෙවන්න ඕනේ ඔක්කොම ණය වාරික ගෙවලා ඉවරයි මේ අර්බුද මැද්දෙන්.
7) ලංකාවේ සහයෝගය නැති නිසා MCC ඇමරිකාව අතහැරියා. එම්සීසී එනවෝ, රට ඉවරෝ කියපු එක මිනිහෙක් ස්තුතියි ජනාධිපතිතුමනි කියලා කිව්වද එම්සිසි නැති උනාම. ලංකාවේ රණවිරුවන්ව ජාත්‍යන්තර දන්ගෙඩියට දක්වන්න පහුගිය ආණ්ඩුවෙන් අත්සන් කරපු ජිනීවා සම යෝජනාව ඉල්ලා අස්කර ගත්තා. නොබැඳි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
8) යහපාලන ආණ්ඩුව අල කරල දාපූ මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය වගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ගත්තා. දේශීය සම්පත් විකුණන එක සෑහෙන ප්‍රමාණයක් අඩු කළා. යහපාලන ආණ්ඩුවේ වැඩ වල ප්‍රතිඵලයක් නිසා නැගෙනහිර ජැටිය විකුණන්න වෙන එක මේ ආණ්ඩුව නැවැත්විය යුතුයි. නොබැඳි ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ වුණත් ආණ්ඩුවට ජාත්‍යන්තර පීඩනය හමුවේ ලේසියෙන් කරන්න බැරි වේවි. නමුත් කළ යුතුයි.
9) ඖෂධ මාෆියාවට කොන්ද කෙලින් තියාගෙන මුහුණ දීලා ලංකාවෙ ඇතුලේ ඖෂධ නිපදවන්න ගත්තා. මේ වෙනකොටත් බිලියන ගානක් රට ඇතුළේ ඉතුරු වෙන්න වැඩකටයුතු සැරසිලා ඉවරයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වගේ රටට හිතකර දේවල් කරන ආණ්ඩුවක් අපිට කවදාවත් ලැබෙයි දැයි සිතා වැළපුණු අයට මේක පෙනේවිද?
10) ජනාධිපති වැය ශීර්ෂයෙන් බිලියනයකට වඩා ඉතුරුයි. කලින් ජනාධිපතිවරු ගත කරපු සුඛෝපභෝගී ජීවිතයෙන් දශමයක්වත් ජනාධිපතිතුමා ගත කරන්නේ නෑ. වාහන පෙළපාලි නෑ. උදේට ගෙදර ඉඳන් වැඩට ඇවිල්ලා, රෑ තිස්සේ ජනාධිපති මන්දිරයේ පාටි දාන්නෙ නැතුව, රෑට ගෙදර ගිහිල්ලා කාටවත් වදයක් නොවී බුදිය ගන්නවා. ජනාධිපති අලුත් වාහන එකක් අරගෙන නෑ. ජනතාවගේ සල්ලි වලින් සැප විඳලා නෑ. ඉරිද හැන්දෑවට ගෙදරට ගියොත් ජනාධිපති වෙන්න කලින් ඉදන්ම තිබුනු පරණ පුටු සෙටියෙ වාඩි වෙලා කවුරු හරි කෙනෙක් එක්ක සාකච්ඡා කරන, 2020 ට කලින් හිටපු ගෝඨාභය ම තමා තාම ඉන්නේ.
11) දේශීය කිරි කර්මාන්තය උඩු යටිකුරු වෙන්න තරමේ දියුණුවක් වෙලා. Milco එක ලාබ ලබනවා. දේශීය කිරි ගොවියාට හොඳ මිලක් ලැබෙනවා. ආනයනික කිරිපිටි භාවිතය සෑහෙන අවම වෙලා. අයවැය න් දේශීය කිරි කර්මාන්තය නගා සිටුවන්න මුදල් වැය කරනව.
12) කොරෝනා අර්බුදය මැද්දේ රුපියල ගැට ගහගෙන පවත්වාගෙන ආවා අවුරුද්දක් තිස්සේ. ආර්ථික ඔස්තාද් අයියලා කිව්වේ ඩොලරය රුපියල් 250 ඉක්මවයි 2020 ඉවර වෙනකොට කියලා. කෝ උනාද?
13) මාධ්‍යවේදීන් මරයි, විරුද්ධ වාදීන් මරයි, සුදු වෑන් එයි, ජාත්‍යන්තර ඉස්සර අපි මිනී කන ජාතියක් වේවි කියලා නටපු එවුන්ට එහෙම වුනාද කියලා තමයි අහන්න තියෙන්නෙ. Sir Fail කියන වෙබ් සයිට් වලටත් ආණ්ඩුවෙන් Ad දෙනවා. හැබැයි ආණ්ඩුවට සහයෝගය දැක්වූ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අමතකම කරලා දැම්මා.
14) හාමුදුරුවෝ අසාධාරණ විදියට හිරේ දාන එක නැවැත්තුවා. හාමුදුරුවන්ට ජනාධිපතිතුමාව නිර්දය විදිහට විවේචනය කරන්න පුළුවන් අද. යහපාලන කාලයේ නඩු වැටෙයි ද කියලා බයෙන් දේශපාලනය කරපු හාමුදුරුවරු අද වීරයෝ වෙලා.
15) පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තාම ඉවර නෑ. ඒක පරක්කුයි. ඒක ඉක්මන් කළ යුතුයි. ඇදෙනවා හොඳටම වැඩියි. මද්‍රසා නියාමනය කිරීම, ළමා විවාහ, මුස්ලිම් බහුවිවාහ, කාති උසාවි, තේසවලාමේ නීතිය, උඩරට විවාහ නීතිය අහෝසි කිරීම තාම වුණේ නෑ. ඒක ඉක්මනට කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුවන් බලාපොරොත්තුවන ප්‍රධානම අරමුණ තමයි නව ව්‍යවස්ථාව බිහි කිරීම. පළාත් සභා මැතිවරණ පත්වන්නට කිහිප දෙනෙක් දරණ උත්සාහය ජනාධිපතිතුමා නවත් වනු ඇතැයි අපි සිතනවා.
16) කොළඹ නාගරික පංතියේ මහත්වරු පර්චස් 6 ඉඩමක ගෙයක් හදනකොට තියෙන ගස් ටික ඔක්කොම කපන ගමන් ආණ්ඩුව කැලේ විනාස කරනවෝ, කැලේ කපනවෝ කියලා කෑගහනවා. අනිත් පැත්තට රට සංවර්ධනය කරන්න මේ ආණ්ඩුව කෘෂිකර්මය දියුණු කරන්නෙ නෑ කියල බනිනව. කෘෂිකර්මය දියුණු කරන්න ඉඩම් අවශ්‍යයි. රටක් සංවර්ධනය කරන ක්‍රියා මාර්ගයේදී යම්කිසි වන හානියක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. හැබැයි ආණ්ඩුව ඔය කියන තරම් බරපතළ වන විනාශයක් කළේ නෑ. 2001/5 ගැසට් පත්‍රය අහෝසි කරලා ගෙනාපු අනිත් ගැසට් පත්‍රයත් ඔය කියන තරම් බිල්ලෙක් නෙමෙයි. අලුත් ගැසට් එකේ පැහැදිලිව තියෙනවා සංවේදී පරිසර කලාප වලට අත තියන්න බෑ කියල. අවශේෂ කැලෑ කියලා කියන්නේ 1978 මිනිස්සුන්ට පවරා දෙන්න නියමිතව තිබුණු ඉඩම්. ඒ කාලේ ඒක කරන්න පරක්කු වෙලා අත ඇරිල ගියා. ඒවා නැවතත් මිනිසුන්ගේ වගා කටයුතුවලට නිදහස් කළා. සිංහරාජය මැදින් පාරක් කැපුවෙ නෑ. ඒවා බොරු. මම පෞද්ගලිකව ලංකාගමට ගිහින් මේ කතාව කියන්නේ. ලංකා ගමට පාරක් හැදුවා ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන හින්ද. කොළඹ පර්චස් 6 කෑලි වල ඉඳගෙන කාර් වලින් එහාට මෙහාට යන ගොඩක් අයට ලංකාගම තේරෙන්නෙ නෑ. හැබැයි කොළඹට වෙලා ඉන්න කැමති අයට ගිනිපෙට්ටි ගම් උදා නිවාස නෙමේ, දැවැන්ත තට්ටු නිවාස සංකීර්ණ හතක් මේ වෙනකොට ඉදිවෙන්න අරඹලා තියෙන්නේ. මධ්‍යම පාන්තිකයන්ට අවුරුදු 25ක් දක්වා ගෙවෙන ණය ක්‍රමයකින් මේව ගන්න පුළුවන් ඉස්සරහට.
17) ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට කිතුල් කර්මාන්තය දියුණු කළා. කිතුල් සංස්ථාවක් ඇරඹෙනවා. අද ගම් වල මිනිස්සුන්ගෙ අතට සල්ලි එනවා. ගම්මිරිස් මිල රබර් මිල ඉහළ අගයකට ඇවිත්. රටේ යමක් වැව්වොත් ඒක විකුණලා සල්ලි ගන්න පුලුවන්, අපි වවන කොට ආණ්ඩුව ඒ දේ ආනයනය කරලා අපේ මිල නැති කරනවා කියන බය අද ගොවියට නෑ. අස්වැන්න වැඩිවෙලා විකුණගන්න බැරිව ඉන්න මිනිස්සුන්ගේ, පලදාව හමුදාව ලවා අරගෙන ගෙදර දුන්න අවස්ථා අපි දැක්කා.
18) සීනි ප්‍රශ්නය ආණ්ඩුව handle කරපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක පිළිගන්නවා. හැබැයි ලංකාවට අවශ්‍ය දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කරමු කියන made in Sri Lanka මානසිකත්වයකට මේ රට ගෙනාවා. ඉඳලා හිටලා සීනි tax අඩු කළා, එකම එක සතියකට ඇඟලුම් ගේන්න අවසර දුන්නා වගේ කලාතුරකින් කරපු බුල් ඇරුනහම. ආණ්ඩුව සමස්තයක් හැටියට කරපු හොඳ පෙනෙයි ඉදිරියේදී රටේ අලුත් ව්‍යවසායකයෝ බිහි වෙනකොට. අද අනෝදා පවා බෝතල් කරල පිටරට යවන ව්‍යවසායකයෝ බිහිවෙලා. මගේ මිත්‍රයෝ ඇවකාඩෝ ඔයිල්, ජින්ජර් ඔයිල් හදලා රට යවන්න plant පටන් අරන්. ලංකාවෙම තියෙන හැම ජාතියෙන් ම නිෂ්පාදන කර කර යවන පාටක් තියෙන්නේ.
19) නිලධාරී වාදය නැති කිරීම තුළින් සහන සලසන්න ජනාධිපතිතුමා උපරිම උත්සාහ දරනවා. නිලධාරීන් කරන්නැති තැන හමුදාව ගෙන්නලා හරි කොහොමහරි කරගන්නවා. අඩුපාඩු තියෙනවා. RMV එකේ ප්‍රශ්න විසඳන්න අවුරුද්දක් ගියා. මේ අකාර්යක්ෂම රාජ්‍යතන්ත්‍රය වෙනස් කරන කොයි තරම් අමාරුද කියන එක පේනවා ඒ සිදුවීමෙන් ම. හැබැයි මේ මනුස්සය තරං මේක කරන්න දඟලපු කෙනෙක් මීට කලින් දැකලා තියෙනවද?
21) මාධ්‍ය සංදර්ශනයක් නොවී ඇත්තටම පාතාලය මර්දනය කළා. මත්කුඩුවලට වැට බැන්දා. ගිය ගිය ගමෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ මත්කුඩු තුරන් කරන්න කියලා. ගමේ නගරයේ සමාජය හැසිරෙන කෙනෙක් දන්නවා කුඩු උවදුර කොයිතරං අවම වෙලාද කියල. බන්ධනාගාරය ඇතුලේ ඉදන් කුඩු ජාවාරම් මෙහෙයවීම සම්පූර්ණයෙන් නැවැත්තුවා. සමාජ මාධ්‍ය වලට නං ඒවා පේන්නේ නෑ.
22) කොළඹ නාගරික සමාජය LRT එක ගැන හරි ඉහල තක්සේරුවක් තියාගෙන හිටියේ. LRT හැදුවනම් ටිකට් එක රුපියල් පන්සීයක ට කිට්ටු වෙනවා. කොයිතරම් පොලිය අඩු වුනත් ඒ ණය ගෙවන්න ටිකට් එකක් 500ට නොදී බෑ. ඒ උනාට ආණ්ඩුව ඒක අහෝසි කරලා ඒ වෙනුවට ගෙනාපු විකල්පය ඉක්මනට සමාජයට මුදාහැරීයෙ නෑ. Park and Go කියලා bus service එකක් එන්න නියමිතයි. එල් ආර් ටී එකට විකල්පයක් එලියට දාන්නේ නැතුව LRT එක නවත්තපු එක ගැන මිනිස්සුන්ට ප්‍රසාදයක් ඇති වුණේ නෑ.
23) ඉස්සර ජනාධිපති වරැ වගේ වත්මන් ජනාධිපතිතුමා උත්සව වල කතා පවත්වනව, wedding වලට අත්සන් කරනවා, ළමයි නලවනවා දැකලා තියෙනවද ? උදේට වැඩට ඇවිත් රෑ වෙලා ගෙදර යනවා. ඔෆිස් ටයිම් එකේ ඔෆිස් එකෙන් පැනලා වෙඩින් වලට යන්නෙ නෑ.
23) මහා මාර්ග අමාත්‍යංශයෙන් ලංකාව පුරා මාර්ග ලක්ෂයක් හදන්න පටන් අරගෙන. එදා මෙදා තුර අපි දැකපු ලොකුම මාර්ග ව්‍යාපෘතිය.
24) මේ ආණ්ඩුවට වැඩියෙන්ම පහර වදින්නේ ඇතුලෙන්. ආණ්ඩුවෙ සමහර දේශපාලනඥයන්ට මේ ක්‍රමය ටිකක් දරාගන්න අමාරුයි. පරණ පුරුදු සෙල්ලම් ලොක්කා එක්ක බෑනේ. කොරෝන කාලේ මිනිස්සුන්ට ඉස්සර වගේ විනෝදාස්වාදය ගන්න චිත්‍රපටි, සංගීත සංදර්ශන, Party නැහැ. හැමෝම ඉතින් සෝෂල් මීඩියා එකට වෙලා ආණ්ඩුව කරන ඒවා දිහා බල බලා බැන බැන ඉන්නවා. මමත් ගොඩක් වෙලාවට එහෙමයි.
25) කොයි තරං දේවල් කලත් නාගරික මධ්‍යම පන්තිය සතුටු කරන්න බැහැ. හරිම පොඩි දේවල් වලින් ඒ ගොල්ලන්ගෙ ලපටි හිත් රිදෙනවා. බස්නාහිරට ඇඳිරි නීතිය තියෙන වෙලාවේ ජනාධිපති බස්නාහිරින් පිටතට ගියා කියලා කෙනෙකුගේ හිත රිදිලා. මේ මොහොත වෙනකනුත් එකම භූමදානය සිදුනොවුණත් එහෙම වෙයි කියලා බයට සමහරක්ගේ හිත රිදිලා. සමහරවිට ඒ අයම භුමදානය ට සහයෝගය දක්වන සජිත්,රවූෆ් රිෂාඩ්, පාඨලී කණ්ඩායම වෙතම ආකර්ෂණය වෙන්න ඉඩ තියෙනවා. තමනුත් සර්ව සම්පූර්ණ නැති මිනිස්සු සර්ව සම්පූර්ණ ආණ්ඩු හොයනව.
ඒ කෙසේ වෙතත් ලංකා ඉතිහාසය තුළ බිහි වෙච්ච කිසිම ජනාධිපති කෙනෙක් මේ මනුස්සය තරං මේ රට ගොඩගන්න දඟලන්නේ නෑ. හැබැයි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ජනාධිපතිතුමාගේ මේ උත්සාහය ජනතාවට ගෙනියන්න වගකිවයුතු මාධ්‍යවලට බැරිවෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මම දුන්න ඡන්දයට මට ආඩම්බරයි. මේ රට ජනාධිපතිතුමා බාරගත්ත තත්ත්වය හැටියට අවුරුද්දකින් මේක සුරපුරයක් කරයි කියලා කෙනෙක් හිතනවා නම් එයාගෙ ඔලුව ගලක වැදිලා. මගේ නං එහෙම ගලක වැදිලා නෑ. ඒ නිසා මං බොහොම ඉවසීමෙන් 2025 වෙනකන් මේ ගමන දිහා විශ්වාසයෙන් බලන් ඉන්නවා.
Sanjeewa Alwis