මුව ආවරණ භාවිතයෙන් පසු අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් ඒවා ගංගා ඔස්සේ සාගර කලාපයට එකතුවීමෙන් කොවිඩ් පැතිර යෑමේ අවදානමක් පවතින බව සමුද්‍රීය පරිසර අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙනවා.
ගංගා ඔස්සේ මෙරට සාගර කලාපයට දිනකට මුව ආවරණ පනස් දහසක් පමණ දළ වශයෙන් එකතුවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටින්නේ.
මෙලෙස ඉවතලන ඇතැම් මුව ආවරණ හේතුවෙන් සාගර කලාපයේ විනෝද වීමට යන පිරිස්වලට වයිරසය ශරීරගතවීමේ තර්ජනයක්ද ද පවතින බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.
ගංගාවලට බැහැර කෙරෙන මුව ආවරණ ඉවත් කිරීම ද අවදානම් සහගතයි.
දිනකට සායනික මුව ආවරණ දළ වශයෙන් ලක්ෂ පහක් පමණ මෙරට භාවිත කෙරේ. මෙම මුව ආවරණවලින් විශාල සංඛ්‍යාවක් දෛනිකව පරිසරයට මුදාහරින බවයි බලධාරින් සඳහන් කරන්නේ.
කොළඹ මහ නගර සභාව යටතේ මාර්ග පවිත්‍ර කරන්නන් 2000කට අධික පිරිසක් සේවයේ නිරතව සිටින අතර මහජනතාව මුව ආවරණ නිසියාකාරව බැහැර නොකිරීම හේතුවෙන් මාර්ග පවිත්‍ර කරන්නන්ටද වයිරසය ආසාදනය වීමට ඉඩ පවතින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පැවසුවාය.
එහෙත් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටින්නේ ගංගා ඔස්සේ මුහුදට එකතු වන මුව ආවරණ මගින් කොවිඩ් වයිරසය පැතිර යාමේ අවදානම් තත්ත්වයක් නොමැති බවයි. එහෙත් පරිසරයට අවිධිමත්ව බැහැර කරන මුව ආවරණ තවත් අයකු අල්ලීමෙන් වයිරසය පැතිරයා හැකි බව ඔහු කියා සිටී.
(අරුණ පුවත් පත)