කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය කොවිඩ් රැඳවියන් කුරුණෑගල දක්වා ලංගම බස් රථයක ගමන් කරලා

December 31, 2020 at 5:15 PM

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළා ගිය පිරිස අතර සිටි 27 හැවිරිදි කොරෝනා ආසාදිත රැඳවියායි.

මෙම රැඳවියන් ගල්ලෑලේ සිට පොළොන්නරුව බස් නැවතුම්පොළට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පසුව එම පිරිස අද උදෑසන 5.45 ට පොළොන්නරුව – මාතර බෝඩ් ලෑල්ල සහිතව පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වූ MB 9268 බස් රථයෙන් කුරුණෑගලට පැමිණ ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන් අනතුරුව පිරිස කුරුණෑගල සිට වෙනත් බස් රථ ඔස්සේ හෝ වෙනත් ප්‍රවාහන මධ්‍යක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට පලා යන්නට ඇති බවට සැක කරන බවයි.

මේ අතර පොලීසිය ඉල්ලා සිටින්නේ, ඉහත අංකය දරන බස් රථයේ ගමන් කළ අයෙකු වේ නම්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර වහාම ස්වයං නිරෝධායනට යොමු වන ලෙසයි.