අද නයිජිරියානුවන්ගේ දවසයි : අවධානයෙන් පසුවන්න – පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

December 31, 2020 at 11:37 AM

දෙසැම්බර් මස 31 වන අද දිනයේදී සමාජ මාධ්‍ය හරහා සිදුවිය හැකි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවට අවධාරණය කර සිටිනවා.

නයිජිරියානු ජාතිකයින් පිරිසක් විසින් මෙරට සිට ක්‍රියාත්මක කර ඇති මෙම වංචනික සිදුවීම් හේතුවෙන් බොහෝ පුද්ගලයින් මුලාවට පත්ව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් වසර අවසානය සනිටුහන් වන අද දිනයේදී ඔවුන් එලෙස ක්‍රියා කිරීමේ වැඩි ඉඩක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ.

විදේශ රටවල සිටින තමන්ගේ මිතුරෙකු හෝ ඥාතියෙකු විසින් එවන ලද තෑගී පාර්සලයක් හෝ වෙනත් දෙයක් ගුවන් තොටුපොළේ හෝ නැත්නම් වෙනත් නිෂ්කාෂණය කිරීමේ ස්ථානයක ඇති බවත් එය මුදාහැරීමට මුදල් ලබා දෙන ලෙස ඉල්ලිම් සිදුකිරීම හෝ විදෙස් රටක පැවති තරගයකින් ජයග්‍රහණය ලබා ඇති බවත් එය ලබාදීමට මුදල් ලබා දිය යුතු බව කියමින් මෙම විදේශිකයින් පිරිස වංචනික ක්‍රියාවල නිරත වෙමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස වංචනික ක්‍රියාවන් වලට සම්බන්ධ නයිජිරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ පසුගිය දින කිහිපයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වසර අවසානය වන අද දිනයේදී මෙවැනි රැවටීම් සිදුවීමේ වැඩි ඉඩක් ඇති බැවින් මහජනතාව අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.