එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවටත්

December 29, 2020 at 12:57 PM

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වේගවත් ව්‍යාප්තියක් ඇති කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ආසාදිතයින් 06 දෙනා පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයින් වන බවත් ඔවුන්ව මේ වන විට හුදෙකලා කොට තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව පසුගිය දා එරටට බ්‍රිතාන්‍යය සිට පැමිණෙන ගුවන් යානා තහනම් කිරීමට පියවර ගනු ලැබුවත් නොවැම්බර් මාසය අවසානය දක්වා පුද්ගලයින් 33,000ක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි 114 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එම පිරිස අතර නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති පුද්ගලයින් සිටීද යන්න ගැන සෙවීමට ඔවුන්ගේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ගතවු පැය 24ක කාලය තුලදී ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස් රෝගීන් 16,432 ක් වාර්තා කර ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10.22 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 148,153ක්.