දැල් ඔංචිල්ලාව බැඳ තිබූ පොල් කොටය හිස මතට කඩා වැටී සත් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

December 26, 2020 at 12:07 PM

මාරවිල ප්‍රදේශයේ හෝටලයක තිබු ලණු දැල් ඔංචිල්ලාවක් බැඳ තිබූ පොල් කොටයක් හිස මතට වැටීමෙන් හත් හැවිරිදි දැරියක් ඊයේ මියගොස් ඇති බව වාර්තා වනවා.

මාරවිල පොලිසිය පවසන්නේ මෙම දැරිය පෙරවරු 9.00 ට පමණ ලණු දැලේ පැද්දෙමින් සිටියදී හිස මතට පොල් කොටය පතිත වී ඇති බවයි. දැරියගේ පියා වැලිසර රෝහලේ වෛද්‍යවරයකු බවත්, මොවුන් කඳාන ප‍්‍රදේශයේ පදිංචිව සිටින අතර පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා නත්තල් උත්සවය සඳහා මාරවිල මුදුකටුව රෝමන් පාක් ප‍්‍රදේශයේ පිහිටි දැරියගේ මවගේ මහගෙදර පවත්වාගෙන යනු ලබන හෝටලයට පැමිණ තිබේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජනක කුලරත්න හා හදිසි මරණ පරීක්‍ෂක නිහාල් පද්මසිරි ගරුසිංහ ගේ මෙහෙයවීම යටතේ ඊයේ පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබුණා.