හෙට ඇරඹීමට නියමිතව තිබු විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන කල් යයි

December 25, 2020 at 12:33 PM

කොවිඩ් වසංගතය හමුවේ මෙරට ගුවන් තොටුපොළවල් විදේශීය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සඳහා හෙට දිනයේදී සුදානම් කර තිබු වැඩසටහන ක්‍රියාත්මක නොවන බව ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ඒ රුසියාවේ සිට හෙට දිනයේදී ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබු සංචාරකයින් 200 දෙනා ගේ ගමන අවලංගු වීමත් සමගයි.

රුසියානු ගුවන් සේවය වන Aeroflot ගුවන් සේවයේ ගුවන් යානයකින් රුසියානු ජාතිකයින් 200 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා හෙට දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබු අතර යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

එහෙත් මෙම රුසියානුවන්ගෙන් ශ්‍රී ලංකා සංචාරය තවත් දින කීපයක් පසු වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.