දිනපතා මෙරට කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කතිකාව සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ අද සිය අදහස් ප්‍රකාශ කර සිටියා.
එහිදී ඇය කියා සිටියේ කොවිඩ් දේහයන් වල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී ඇති බවත් මේ වන විට දේහයන් ආදාහනය කරනවාද යන්න භූමදානය කරනවාද කියලා විකාරරූපි ලෙස දඟලමින් සිටින බවයි.
‘මෙම වෛරසය සමග අපිට සෙල්ලම් කිරීමේ අමාරුයි. එංගලන්තයේ පැතිර යන නව වෛරස් ප්‍රභේදය ගැන දැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම සිදුකළ යුතුයි. මේ අවස්ථාවේදී අපි මුලින්ම බලන්න ඕනේ මියගිය පුද්ගලයින් ගැන නොවේ ජිවත්ව සිටින පුද්ගලයින්ගේ ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහායි. අප දැනටමත් කතා කරමින් සිටින්නේ මියගිය පුද්ගලයින් සම්බන්ධවයි.
දැනට මාසයකට පමණ ඉහතිදී ඩෙන්මාර්කයේ මුගටින් කොවිඩ් වාහකයින් බවට හඳුනා ගැනීමත් සමග ලක්ෂ 15ක් පමණ මුගටියන් මරා දමා භූමදානය කළා. පසුව එම රටේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ තාක්ෂණික විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළා. නමුත් පසුව ඔවුන්ට තේරුම් ගියා වෛරස් සහිත මුගටියන් වල දැමීම නිසා භූගත ජලයට වෛරසය මුසුවීමේ අවධානමක් පවතිනවා කියලා.
ඒ අනුව ඩෙන්මාර්ක් බලධාරීන් විසින් භූමදානය කළ මෙම මුගටියන් ගේ සිරුරූ යලි ගොඩ අරගෙන ඒවා පුළුස්සා විනාශ කිරීමට පියවර ගනු ලැබුවා. අද වන විට අප රටේ විකාරරූපි ස්වරුපයකින් දගලනවා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනවද නැත්නම් ආදාහනය කරනවද කියලා. නමුත් අපට ඩෙන්මාර්කයෙන් ලබාදී තිබෙන උදාහරණය ගැන අවධානය යොමු කිරීම වැදගත් යැයි මහාචාර්ය මෙත්නිකා විතානගේ සඳහන් කර සිටිනවා.