LPL අවසන් මහ තරගය අද

December 16, 2020 at 9:26 AM

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් අතර පෙරමුණේ පසු වූ කළම්බු කිංග්ස් පරාජය කරමින් ගෝල් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් පෙරේදා අදාළ අවස්ථාව හිමිකර ගනු ලැබුවා.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග 22ක් අවසන් වන විට ගෝල් සහ ජැෆ්නා කණ්ඩායම් දෙවතාවක් එකිනෙකා හමු වී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය වී තිබීම කැපී පෙනෙන කාරණයක් විය.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ප්‍රධානතම පිතිකරුවා වන්නේ ධනුෂ්ක ගුණතිලකය. පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටින ධනුෂ්ක තරග 9කට සහභාගි වී අර්ධ ශතක හතරක් ඇතුළුව රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 475කි.

ගෝල් ග්ලැඩියේටර්ස් සෙසු පිතිකරුවන් අතරින් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවන් වන්නේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් සහ නායක භානුක රාජපක්ෂය. පිතිකරුවකු වශයෙන් ක්‍රීඩා කල අවසන් තරග දෙකෙහිදීම නායක භානුක රාජපක්ෂ ලකුණු 30 සීමාව පසුකර තිබීමෙන් අද තරගයේදී ඔහුට වැඩි බරක් පැටවෙනු ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ පැමිණීමත් සමග ගෝල් කණ්ඩායමේ පන්දු යැවීමේ බළ ඇණිය මේ වන විට සමබර තත්ත්වයක් කරා පැමිණ තිබේ. අවසන් පූර්ව තරගයට පෙර කැන්ඩි ටස්කර්ස් සමග පැවැති තරගයේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් අද තරගය සඳහා තුෂාරගේ සහභාගිත්වය පිළිබඳව ඊයේ පස්වරුවේ තීරණය කිරීමට නියමිතව ඇත.

ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා වනුයේ අවිශ්ක ප්‍රනාන්දුය. පිතිකරුවන් අතර 6 වැනි ස්ථානයේ පසුවෙන අවිශ්ක අර්ධ ශතක දෙකක්ද ඇතුළුව මුළු ලකුණු 248ක් රැස්කරගෙන සිටී. ජැෆ්නා නායක තිසර පෙරේරා ද තරගාවලියේ ලකුණු 222ක් ලබා ගෙන ඇති අතර මෙම තරගයේදී සිය සුපුරුදු රිද්මයට පැමිණීම තීරණාත්මක වනු ඇත. පිතිකරුවන් 8 දෙනෙකු සමගින් ජැෆ්නා ස්ටැලියන්ස් අද තරගයට සහභාගි වීමේ අපේක්ෂාවෙන් සිටී.