අටලුගමින් පැනවිත් පානදුර බස් නැවතුම්පොළේ රටකජු විකුණු වෙළෙන්දා නිරෝධායනයට

December 14, 2020 at 9:12 AM

අටළුගම ප්‍රදේශයෙන් පලාවිත් පානදුර බස් නැවතුම්පොළේ දුර ගමන් සේවා බස්රථවල රටකජු විකිණූ පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශය විසින් පසුගිය 11 වෙනිදා රාත්‍රී හඳුනා ගැනීමෙන් පසු පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකර නිවසේ නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

මෙසේ නිරෝධායනයට ලක්කර ඇත්තේ බණ්ඩාරගම, අටුළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ පවසයි.

මාතර සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයක රටකජු අලෙවි කරමින් සිටි පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් පරීක්‍ෂා කිරීමේදී ඔහු පෙරදින උදෑසන බණ්ඩාරගම, අටුලූගම ප්‍රදේශයෙන් හොර රහසේ පැන ආ බවට තොරතුරු ලැබී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔහු පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමුකළ යුතු පුද්ගලයකු බවට බණ්ඩාරගම සෞඛ්‍ය බලධාරීන් දැනුම්දී ඇති අතර ඒ අනුව පීසීආර් පරීක්‍ෂණයක් සිදුකර නිවසේ නිරෝධායනයට ලක්කළ බවයි සෞඛ්‍ය බලධාරියෙක් සඳහන් කළේ.

අදාළ පුද්ගලයා ඉකුත් 10 දා පෙරවරුවේ බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෙල් යායකින් පැන ආ බවටත්, දින දෙකක් දුර ගමන් සේවා බස් රථවල රටකජු විකුණා ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

(දිවයින පුවත්පත)