මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් – කෝප් කමිටුවේදී හෙළි වෙයි.

November 22, 2020 at 12:57 PM

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී (20) දා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය

මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය විය.

2012 දි උතුරු අධීවෙිගි මාර්ගය ලෙස පියවර 03ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවෙිගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තීබේ.

මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිිරිමට තිරණය කොට ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයන කිහිපයක් විශාල මුදලක් වැය කොට සිදු කර ඇත.

වසර 2015 දී කිසිදු හෝ විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙහිදි අනාවරණය විය.

මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස්වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයයේ ලේකම්වරයාට නියෝග කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත,රන්ජන් රාමනායක,ඩී.වී චානක යන මහත්වරු සහභාගී වුහ.