හෙට විවෘත වන පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණය (PHOTOS)

November 19, 2020 at 6:54 PM

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) හෙට (20) දින පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනවල කඩිනමින් සිදුකෙරුණා.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේ ද එම අවස්ථාවේදී වන අතර එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරුණා.

කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලියේ දී වැඩිම අවධානයක් යොමු වූයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය, කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාම පිළිබඳවයි. මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නොව පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යාමට නියමිතයි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.

මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවමවීමට මෙය යම් බලපෑමක් ද සිදුකරනු ලබයි.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ. මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය – වැය මඟින් ද ප්‍රකාශ වුණේ රට සංවර්ධනය කිරීමට අදාළව තවත් ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක්ම කඩිනමින් ආරම්භ කරන බවයි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.