ජාතිය අමතා ජනපති සිදුකළ කථාව

November 18, 2020 at 8:43 PM

තමන්ගේ බලාපොරොත්තුව වන්නේ

හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන

පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන

ණය වලට වඩා ආයෝජන දිරිගන්වන

කතාවට වඩා ක්‍රියාවට ගරුකරන

පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවයට තැන දෙන රාජ්‍ය පාලනයක් ඇති කිරීම

බවත් මේ සඳහා දේශපාලන අධිකාරිය මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරින්ද ඒ අනුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

ජනතාව තමන්ට හා රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදාය දේශපාලනික සංස්කෘතිය වෙනස් කොට රට සෞභාගය කරා ගෙන යාමට බවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් මෙන්ම රජයත් කැපවී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ජනාධිපතිවරයා  වැඩිදුරටත් කියා සිටියේ මිට වසරකට පෙර 69 ලක්ෂයකට අධික ජන්ද දායකයින් තමන්ව නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගත් බවත් ඉන් බහුතරයක් සිංහල ජාතිකයින් බව රහසක් නොවන බවයි.

” ඔවුන් එදා ඒකරාශී වුයේ බෙදුම්වාදයට, අන්තවාදයට සහ ත්‍රස්තවාදයට මෙන්ම විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් සහ මතවාදයන් හමුවේ සිංහල ජාතිය, ආගම, ජාතික සම්පත් සහ පාරම්පරික උරුමයන් විනාශවීමේ තර්ජනයක් ඇතිබව සාධාරණ බියක් ඔවුන්තුල තිබෙන නිසයි.

ජනතාව එදා මගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම වුයේ රට බේරා ගන්න කියයි.

රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මේ කෙටි කාලය තුලදී අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනතාව ඒ ගැන අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා .

තමන්ගේ ධුරකාලය තුලදී ජාති ආගම් භේදයනේ තොරව සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකින පාලන තන්ත්‍රයක් රට තුල ඇතිකරන අතරම මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව අනුව රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් එදා රුවන්වැලි සෑ පුදබිමේදී දුන් ප්‍රතිඥාව අනුව තමන් සෑම විටම කටයුතු කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනතාවට සැබවින්ම සේවය කිරීමට නම් සෑම විටම ජනතාවට ඇහුම්කන් දිය යුතු බවත් ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම තමන් ජනතාව අතරට යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය කාලයේදී ලංකාවේ ප්‍රදේශ ගණනාවක අතිශය දුෂ්කර ගම්මාන වලට පවා යමින් මම ජනතාවගේ ගැටළු ගැන සොයා බැලුවා ඒවාට ඇහුම්කන් දුන්නා. ඒ ඒ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල පවතින පොදු ගැටළු සහ එම ප්‍රදේශවලට ආවේනික වූ ගැටළු ගැන මට අවබෝධයක් ලබා ගැනීමට මට හැකිවුණා.

මම උපදෙස් ලබාදී ඇත්තේ ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටළු තේරුම් කරගෙන ඒවා විසදීමට කටයුතු කරන්න කියායි.

රටක ප්‍රගමනය සඳහා කර්යක්ෂකම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නීති පොතට මුවාවී තම වගකීම් පැහැර හරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවයන් කඩිනමින් ඉටු කර දෙන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කර සිටියා.

තමන් විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන වෙත යන්නේ මෙම කරුණු නිසි ලෙස ඉටුවෙනවාද කියා සොයා බැලීමට බවත් ඉදිරියටත් එය දිගටම සිදුකිරීමට බලාපොරොත්තු වන බව කියා සිටියා.

සියලුම අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරින් තමන්ගේ අමාත්‍යාංශය සහ ආයතනවල සේවාවන් නිසි ලෙස ඉටුවෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

රාජ්‍ය පාලනය තුල නාස්තිය සහ දුෂණය පිටුදකින බව අප ජනතාවට පොරොන්දු වුවා. ඒ හේතුවෙන් සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන තුල නාස්තිය සහ දුෂණය නැවැත්වීමට කටයුතු කළ යුතු අතරම ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුයි.

ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇතිවී තිබු ව්‍යාකුල තත්ත්වය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර ගැනීමට හැකිවුනත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා.

ඒ හේතුවෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.