2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියේ.
නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බවද අධ්‍යාපන ලේකම්වරයා සදහන් කර සිටියා.
සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබේ.
කෙසේ වුවත් කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර ඇත.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති ඉ- තක්සලාව තවදුරටත් පුළුල් කිරීමටත්, මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්(LMS) ස්ථාපනය කිරීමටත්, තුන්වෙනි පාසල් වාරය ඉලක්ක කරගෙන, ප්‍රාථමික , 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, 6 සිට 11 ශ්‍රේණි, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් මාලාව තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවයි අධ්‍යපාන ලේකම්වරයා පැහැදිලි කර සිටියේ.
දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර සිටියා.