එක්සත් ජනපද ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මේ ලියන මොහොත වන තෙක් ප්‍රකාශයට පත්වී නැත. නමුත්, පුරෝකථනයන් පෙන්වා දෙන්නේ ජෝශප් බයිඩන් ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇති බවයි. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මුළු මැතිවරණ ක්‍රියාවලියම වංචාවක් බවයි. නිල වශයෙන් ගත්කළ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත වලට දෙසැම්බර් 08 දක්වා කාලය ඇති අතර, ජනාධිපතිවරයා කවුදැයි නිල වශයෙන් ප්‍රකාශ කිරීමට 2021 ජනවාරි 26 දක්වා කාලය ඇත. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරණය පවත්වන ආකාරය නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල හා ලෝක ප්‍රජාව ඉදිරියේ හාස්‍යයට ලක්වී තිබේ.
බොහෝ බටහිර ජනමාධ්‍ය අපට කීවේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් මෙවර අන්ත පරාජයකට පත්වන බවයි. කොවිඩ්-19 වසංගතය පාලනය නොකිරීම, දුගී ජනයාට ආර්ථික සහන නොදීම, සාම්ප්‍රදායික මිතුරන් පසමිතුරන් කරගැනීම (යුරෝපය), රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මුදල් ගනුදෙනුවක් කරගැනීම, ඥාති සංග්‍රහය හා බලය අයුතු ලෙස යොදා ගැනීම එයට හේතු ලෙස දක්වනු ලැබීය.
නමුත්, ට්‍රම්ප් 2016 ට සාපේක්ෂව සිය චන්ද විශාල ලෙස වැඩිකරගෙන ඇති අතර ඔහුට පදවිය අහිමි වී ඇත්තේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකිනි.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද බොහෝ තරුණයින්ගේ හා වැඩිහිටියන්ගේද සිහින රාජ්‍යය එක්සත් ජනපදය යි. එය නිදහස් ලෝකයේ නායකයාද, වාණිජ ලෝකයේ නායකයාද, ගෝලීයකරණයේ නායකයාද, දැනුම නිපදවීමේ නායකයාද ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.
එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පෙනී ගියේ ඒ රටේ ඉහත කී නායකත්ව ගුණ නොවන විසංවාදවල විවිධත්වයයි.
එහි බහුතරයක් වෛරසය පාලනයට සීමා පැනවීම නොඉවසති. එහි බහුතරයක් ගෝලීය උණුසුම විශ්වාස නොකරති. බුද්ධිමතුනට වඩා එහි හැඟීම්බර පිරිස වැඩියෙන් වෙසෙති. නිදහස් සෞඛ්‍ය සේවයකට, නිදහස් අධ්‍යාපනයකට එහි ජනයාගෙන් බහුතරය විරුද්ධය. ලොවේ ඉහළම හමුදව සිටියද පුරවැසියන්ද ආරක්ෂාව සඳහා අවි දැරිය යුතු බව බහුතරය විශ්වාස කරති. නාගරිකව ලෞකිකවාදීන්ද, ග්‍රාමීයව අන්ත ආගමික භක්තිකයන්ද සිටී. එරට සමාන මානව අයිතියට වඩා කළු – සුදු හෝ දේශීය – සංක්‍රමණික, මුස්ලිම් – මුස්ලිම් විරෝධී භේද ඉතා තියුණුය. සංකීර්ණ මැතිවරණ ක්‍රමය විසින් එක් ඡන්දයකට සමාන වටිනාකමක් ද නැත. මිලියන 300 ක නායකයාගේ ඉරණම කුඩා ප්‍රාන්ත කිහිපයක ඡන්ද දහස් ගණනකින් කින් තීරණය වීමට ඉඩ ඇත.
එක්සත් ජනපදයේ මේ විසිරුණු සමාජය තේරුම්ගත හැක්කේ එහි ඓතිහාසික පරිනාමය විසිනි. ට්‍රම්ප් යනු එහි පදනමින් එන ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. බොහෝ දෙනා කියන පරිදි අහම්බයක් නොවේ.
එක්සත් ජනපදය නමැති දැවැන්ත රටට 16-17 සියවස්වල බටහිර බිම් කොල්ලකරුවන් එනවිට අඩුම තරමින් විවිධ භාෂා සහිත ජන කණ්ඩායම් 267 ක් සිටි ස්වදේශීය ප්‍රජා එකතුවකි. බටහිරින් පැමිණි සංවිධානාත්මක ඝාතකයින්, කොල්ලකරුවන්, මැරයින්, සිරකරුවන්, පාදඩයින්, නිදහස් මතධාරීන්, ආගමික පූජකයින් ආදීන් විසින් රට කැබලි වලට බෙදාගෙන පාලනයක් බිහිකරන ලදී. ඊළඟට එහි සොභාවික සම්පත් උකහා ගැනීම අරඹන ලදී.
වහල් වෙළඳාම හා වාණිජ වගා (තිරිඟු, උක්, දුම්කොළ, මිදි ආදිය) විසින් එය ක්‍රමයෙන් 18 වන සියවසේ ආර්ථික බලයක් විය. ඇමරිකානු විප්ලවය (1765) එහි ඓතිහාසික මොහොතක් විය. විදේශයකදී නූතනවාදී බ්‍රිතාන්‍යය ලත් පළමු යුධ පරාජය එය විය. එක්සත් ජනපදය බෙදුම්වාදය (දකුණේ ප්‍රාන්ත හා වහල් ක්‍රමය) පරදවා එක් රාජ්‍යයක් වීමත්, පොසිල ඉන්ධන විප්ලවය හඳුන්වාදීමත් 1860 ගණන්වල සිදුවිය. ඒ හා සමග විදුලිය, මෝටර් රථ, නව කලමනාකරණ උපාය ආදිය සමග දෙවැනි කාර්මික විප්ලවයේ (1860-1960) පුරෝගාමී රට බවට එක්සත් ජනපදය පත්විය. වෙළඳපොල මිල ගණන් අනුව බ්‍රිතාන්‍ය හා ජර්මනිය පරදවා ලෝකයේ විශාලතම ආර්ථිකය බවට 1870 ගණන්වල එක්සත් ජනපදය පත්විය. වසර 150 කට පසු එය අද දක්වා පවතී.
එක්සත් ජනපදයට දැවැන්ත තාක්ෂණික දැනුම් ප්‍රවාහයන් යුරෝපයෙන්, රුසියාවෙන් හා චීනයෙන් 1930 සිට ගලා ආවේය. යුදෙව්වන්, කොමියුනිස්ට්වරු හා කොමියුනිස්ට් විරෝධීන් වූ විද්‍යාඥයින් දහස් ගණනක් එක්සත් ජනපදයට පලා ආහ. නූතන පරිගණකයේ පියා වූ වොන් නියුමාන්, නූතන පරමානු බෝම්බයේ පියා වූ ඕපනහයිමර්, නූතන රොකට් හා අභ්‍යාවකාශ විද්‍යාවේ නියමුවන් වූ සියුන් සූසන්, වොන් කාර්මන් හා සාපේක්ෂතාවාදයේ නියමුවා වූ අයින්ස්ටයින් ආදීන් එවැනි විද්වත් විදේශ ප්‍රවාහයන් විය.
එක්සත් ජනපදය තාක්ෂණයේ නියමුවා වූයේ ඔවුන්ගේ ශක්තියෙනි. පසුව එයට සකර්බර්ග් (Facebook), සර්ජි (Google), ස්ටීව් ජොබ් (Apple) වැනි අයද එක්වූහ.
එක්සත් ජනපද ජනාධිපතිට ඉදිරි වසර 4 සඳහා අභියෝග රැසක් ඇත. ඉන් පළමුවැන්න කොවිඩ්-19 මර්දනය කිරීමයි. දෙවැන්න 2020 දී පසුපසට ගිය ආර්ථිකය ඉදිරියට ගැනීමයි. තුන්වැන්න චීනයෙන් එල්ල වී ඇති ලෝක ආධිපත්‍ය අභියෝගය ජය ගැනීමට මංපෙත් තැනීමයි. සතරවැන්න ගෝලීය උණුසුම වැනි ලෝක අර්බුද වලට විසඳුම් ලබාදීමට අවංක ක්‍රියාමාර්ග ගැනීමයි.
ඒ සඳහා එක්සත් ජනපදයට ශක්තීන් කිහිපයක් ඇත. පළමුව එක්සත් ජනපදය තවමත් ලෝක වෙළඳපොලෙින් 15% ක හිමිකාරයාය. සෑම රටක්ම එක්සත් ජනපදයට භාණ්ඩ යැවීමට උනන්දුවක් දක්වති. (ලංකාවේ අපනයනවලින් 30% ක ඉලක්කය එක්සත් ජනපදයයි) එමෙන්ම, ලෝකයේ මූල්‍ය ගනුදෙනු වලින් 60% ක් තවමත් සිදුවන්නේ එක්සත් ජනපද ඩොලර් වලිනි. යූරෝව, යෙන් හෝ රෙන්බිට් තවමත් ඇත්තේ පසුපසිනි. තෙවනුව, අභ්‍යාවකාශය හා එනයින් අන්තර්ජාලය ඔවුනගේ ආධිපත්‍යයේ පවතී. සිව්වෙනුව, ලෝකයේ නාවුක – ගුවන් තීර පාලනය කළ හැකි නාවුක හා ගුවන් බලයක් ඔවුන් සතුය. (ඕනෑම රටකට සම්භාධක පනවා එරට අඩපණ කිරීමට මේ ශක්තීන් ප්‍රමාණවත්ය) පස්වෙනුව, කෘත්‍රිම බුද්ධිය, ජාන තාක්ෂණය, නැණෝ තාක්ෂණය, අන්තර්ජාල තාක්ෂණය (IOT) රොබෝ තාක්ෂණය ආදී සුහුරු තාක්ෂණයන්ගේ තවමත් නියමුවා එක්සත් ජනපදයයි. මේ ශක්තීන් 5 ඉදිරි වසර 4 තුළ වෙනස් වේ යැයි සිතිය නොහැකිය.
නමුත්, චීනයෙන්, රුසියාවෙන්, යුරෝපයෙන් පෙර නොවූ විරූ අභියෝගයක් එක්සත් ජනපදයේ ආධිපත්‍යයට ඇතිවී ඇත.
එක්සත් ජනපදය, එංගලන්තය පරාජය කළේය (1760), ජර්මනිය බිඳ දැමුවේය (1945), සෝවියට් දේශය විසුරුවා හැරියේය (1989), ජපානය අතික්‍රමණය කළේය (1986 ප්ලාසා ගිවිසුම), දැන් චීනය හා වාණිජ දේශපාලනික ගෝලීය ගැටුමකට මැදිවී ඇත. චීන අභියෝගය යනු ඉස්ලාම් මූලධර්මවාදය, කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය මෙන් ක්‍රියාවලියක් නොවන බව පැහැදිලිය.
වසර 1990 දී සැමුවෙල් හන්ටින්ටන් ප්‍රකාශ කළ පරිදි ඇතිවෙමින් තිබෙන්නේ ශිෂ්ඨාචාර අතර ගැටුමකි. එක්සත් ජනපදය විසින් චීනය කොටු කිරීම සඳහා ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ආදිය මුල් කරගත් (QUAD) සන්ධානයක් තනා ඇත. එමෙන්ම, යුද දේශපාලනික හා ආර්ථික සන්ධානයන් ඉන්දු – පැසිපික් රටවලට යෝජනා කරමින් ඇත. (ලංකාවට SOFA, MCC) එයට අවනත නොවන්නන් මෙල්ල කිරීමට ඉහත කී පංච ශක්තීන් යොදා ගනු ඇත. ට්‍රම්ප් මෙන් දැඩිව, සෘජුව නොව, බයිඩන් සුමටව, වක්‍රව එකී උපාය ක්‍රියාත්මක කරනු ඇත.
ශ්‍රී ලංකාව කළ යුතුව ඇත්තේ එක්සත් ජනපද – චීන යුද දේශපාලනික ගෝලීය ගැටුමට හසු නොවී නොබැඳිව ඉන්දීය සාගරය සාම කලාපයක් කිරීම සඳහා පෙනී සිටීමය. රටේ ජාතික අවශ්‍යතා ගෝලීය බලවතුන්ගේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා ක්‍රියා කිරීමය.
පාඨලී චම්පික රණවක