හරක් හොරු ඇල්ලීමට ගිය ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් ජිවිතක්ෂයට

November 5, 2020 at 11:54 AM

ආණමඩුව ප්‍රදේශයේ දී හදිසි වැටලීමකට යමින් සිටියදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හේමන්ත රත්නායක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රිය අනතුරෙන් තුවාල ලැබූ ආණමඩුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාද බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

යම්කිසි සංවිධානත්මක කණ්ඩායමක් කොට්ටුකච්චිය ප්‍රදේශයේදී ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බව තොරතුරක් ලැබීම නිසා ආණමඩුව පොලිසියේ පොරොත්තු රාජකාරියේ නිරතව සිටි මෙම නිලධාරින් දෙදෙනා වහාම එම ස්ථානය බලා පිටත්ව ගොස් ඇත්තේ රථවාහන අංශයේ ස්තානාධිපතිවරයා ගේ පුද්ගලික මෝටර් රථයෙනි.

ඒ එම අවස්ථාව වන විට පොලිස් ස්ථානයේ පිහිටි ජංගම රථය වෙනත් රාජකාරියක් සඳහා පිටත්ව ගොස් තිබීම හේතුවෙනි.

හරක් ජාවාරම්කරුවන් සොයා යමින් එම දෙසට ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන්ට තමන්ව පසු කොට යන ලොරි රථය දැක එය පසුපස හඹා යාමට වාහනය හරවන අවස්ථාවේදී එය ලිස්සා ගොස් ආණමඩුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය වූ වහාම ප්‍රදේශවාසින් එක්ව පොලිස් නිලධාරින් දෙදෙනා රෝහල් ගත කොට ඇති අතර එම අවස්ථාව වන විටත් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව සිට ඇත.