පෞද්ගලික රෝහලෙන් PCR කොට ව්‍යාජ තොරතුරු දුන් පුද්ගලයාට කොරෝනා

November 5, 2020 at 5:53 PM

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණයක් පෞද්ගලික රෝහලකින් සිදුකළ පුද්ගලයෙකු එම රෝහලට තමාගේ පෞද්ගලික තොරතුරු සඳහා අසත්‍ය තොරතුරු ලබාදීමේ සිදුවීමක් ගැන තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එම PCR පරීක්ෂණය සිදුකළ පුද්ගලයාගේ ප්‍රථිපල අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙන බවද මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් ආසාදිතයෙක් ලෙස මෙම පුද්ගලයා හඳුනා ගැනීමත් සමග එම පුද්ගලික රෝහලට ඔහුව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව මෙහිදී හමුදාපතිවරයා සඳහන් කළා.

යම් කිසි පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එම පුද්ගලයා ස්වයං නිරෝධායනය වියයුතු බවත් ඒ ගැන සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කිරිමෙන් පසුව අදාළ පරීක්ෂණ සිදුකළ හැකිබව යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නා.