කොරෝනා දැන් නිවසටම ඇවිත් : ලංකාව බැරෑරුම් තැනකට ඇවිත් – රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පෙන්වා දෙයි

November 5, 2020 at 11:26 PM

දෙවැනි කොරෝනා රැල්ලේදී මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගනු ලබන්නේ මරණයෙන් පසුව සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයේදී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඉකුත් ඔක්තෝම්බර් 22 වෙනිදා දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය සමග මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ අතර ගතවූ සති දෙකක කාලය තුලදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 15ක්.

ඉන් ඇතැම් මරණ නිවසේදී මියගොස් සිටි පුද්ගලයින් වන බවත් මෙම තත්වය ඉතා බරපතල තත්වයක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙනවා.

නිවෙස් තුල මියගොස් සිටි බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයින් බවත් ඔවුන් සමාජයට නොගිය අය බැවින් මේ වන විට කොරෝනා නිවස කරා පැමිණ ඇති බවත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තැනක අද වන විට ලංකාව සිටින බව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු විය යුතු බව ඔහු කියා සිටියේ.

අද වන විට නිවාස ආශ්‍රිතව නිරෝධායනට ලක් කර ඇති 60,000ක පමණ පිරිසක් සිටින බවත් ඔවුනගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වන බව පැවසූ ඔහු එම පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය PCR කට්ටල ඇති දැයි ගැටළුවක් ඇතැයි ද කියා සිටියා.

PCR පරීක්ෂණයක් නොකර සමාජයට මුදා හැරීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි පැවසූ ඔහු දින දාහතරෙන් පසුව ඇතැමුන් කොරෝනා ආසාදිත තත්ත්වය පෙන්වන බවද සඳහන් කර සිටියා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මෙම අදහස් පල කර සිටියේ.