ඇමෙරිකානු ජනාධිපතිවරණය ලංකාවට බලපාන්නේ කෙසේද?

November 5, 2020 at 3:09 PM

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළා නම් ලංකාවට හොඳයි, බයිඩන් ජයග්‍රහණය කිරීම අපට අහිතකරයි කියලා පොහොට්ටුවට සම්බන්ධ පිරිසක් ව්‍යාජ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලංකාවට බලපාන ආකාරය ගැන ඊට වඩා විධිමත් කියවීමකට යන එක මේ මොහොතේ ඉතා ම වැදගත්.

ට්‍රම්ප් සහ බයිඩන් යන දෙදෙනාගේ ම විදේශ ප්‍රතිපත්තියේ හරය වෙන්නේ ඇමෙරිකානු බල ආධිපත්‍යය තහවුරු කෙරුණු ලෝක තත්ත්වයක් පවත්වා ගෙන යාම. ආර්ථික ආධිපත්‍යය, දේශපාලන ආධිපත්‍යය වගේ ම මිලිටරි ආධිපත්‍යයත් මේ ව්‍යාපෘතියට ඇතුළත්. මේ ඉලක්කයට යන්න ට්‍රම්ප් පාවිච්චි කළේ ආරක්ෂණවාදී, ආක්‍රමණශීලී සහ ජාතිකවාදයට බර තැබූ ප්‍රතිපත්තියක්. චීනය සමග තදබල ගැටුමකට ට්‍රම්ප් ගියේත් මේ ප්‍රතිපත්තිය මත පිහිටලයි. චීනයේ ආර්ථික ආධිපත්‍යයට වගේ ම චීන ණය උගුලට හසු වූ රටක් විදියට ලංකාව ට්‍රම්ප්ගේ චීන විරෝධයේ ගොදුරක් වීම වළක්වන්නට බැහැ. ලංකාවේ අපනයන වලින් සියයට 26.3%ක් ඇමෙරිකාව මත රඳා පැවතීම වගේ කාරණා ගණනාවක් මුල් කරගෙන අවශ්‍ය ඕනෑම මොහොතක අපට විශාල පීඩනයක් එල්ල කරන්නට ඔවුන්ට පුළුවන්.

නමුත් බයිඩන් තමන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ට්‍රම්ප්ට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියලා හිතන්න පුළුවන්. ද්වි පාර්ශ්වීය සහයෝගිතාව, බහු පාර්ශ්වීය සහයෝගිතාව, ජාත්‍යන්තර සම්මුතීන්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් බයිඩන් තමන්ගේ මෙවලම් විදියට පාවිච්චි කරයි කියලා හිතන්න අපට පුළුවන්. එමනිසා නැවත වටයකින් මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්න ලංකාව සම්බන්ධයෙන් මතු වීමේ ලොකු ඉඩකඩක් තියනවා.

බයිඩන් යටතේ උප ජනාධිපතිවරිය වශයෙන් කටයුතු කරන කමලා හැරිස් වගේ ම ඇයගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන රෝහිණි කොසුග්ලු සෘජුවම මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රබල භූමිකාවක් නිරූපණය කරයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේ ම ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් දිගින් දිගට ම මැදිහත්වීම් කළ සමන්තා පවර් ට බයිඩන්ගේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රබල තනතුරක් හිමිවෙයි කියන අනුමානය දැනට ම මතු වෙලා තිබෙනවා. මේ සියලු දේ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගෙන ප්‍රබල අභියෝගයක් වන බව පැහැදිලියි.

බයිඩන් යටතේ ඇමෙරිකාව නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගනු ඇති බව නියතයි. ඒ වගේ ම මීළඟ සැසිවාරය වන විට ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා නොසිටියත් වෙනත් රටක් තමන් ගේ බළල් අතක් විදියට පාවිච්චි කරමින් ලංකාවට පීඩනය එල්ල කරන්නට ඔවුන්ට පුළුවන්. එතකොට මානව හිමිකම්, යුද අපරාධ වගවීම් වගේ ප්‍රශ්නවලට නැවත වතාවක් උත්තර බඳින්නට අපට සිදුවෙනවා.

මේ සම්බන්ධයෙන් ‍යහපාලන රජයේ උපායමාර්ගය වුණේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සම-අනුග්‍රාහකත්වය දැක්වීම හරහා ජාත්‍යන්තර බලපෑම් අඩු කරගැනීම. මේ උපායමාර්ගය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව විසින් ප්‍රබල විදියට ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඒක තවදුරටත් වලංගු විසඳුමක් වෙන්නෙ නෑ. ඒ අනුව එතැනට නොයා හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහිව, විදේශ විනිසුරන්ට එරෙහිව, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණවලට එරෙහිව සටන් කරන්නට අපට සිදු වෙනවා.

ඒ සටන කරන්න පුළුවන් එක ම විදිය තමයි ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීම. ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම. නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිර්දේශපාලනීකරණය කිරීම. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම. මේ හරහා ලංකාවට ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න විභාග කරගන්න ශක්තිමත් ක්‍රමවේදයක් තිබෙන බවටත්, ජාත්‍යන්තර අත පෙවීම් අවශ්‍ය නොවන බවටත් ප්‍රබල තර්කයක් මතු කරන්නට අපට හැකියාව ලැබෙනවා. එවිට අපට එල්ල වෙන්න පුළුවන් බලපෑම සිමාසහිතයි. ඒ වගේ ම අභියෝග කළමනාකරණය කරගැනීම අපහසුයි.

ඒත් මේ ආණ්ඩුව මේ වෙනකොටත් ගමන් කරලා තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. 20 වැනි සංශෝධනය හරහා මේ රටේ රාජ්‍ය සේවයේ, අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය කාබාසිනියා කොට දමා තිබෙනවා. මුළුමහත් රාජ්‍ය සේවය ම, පොලිස් සේවය ම දේශපාලනීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කොට තිබෙනවා. අසීමිත විධායක බලතල ජනාධිපතිවරයා අතට පත් කොට තිබෙනවා. සංවරණ හා තුලන විනාශ කොට දමා තිබෙනවා.

මේ සියලු දේ මානව හිමිකම් සහ යුද අපරාධ ප්‍රශ්නයේ දී අපට එරෙහිව භාවිත කරන ප්‍රබල ආයුධ බවට පත් වීම නොවැළැක්විය හැකියි. මේ ආයුධ හදලා ඔවුන් අතට දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ ආණ්ඩුවමයි. 20 වැනි සංශෝධනයට පක්ෂව අත උස්සපු 156 දෙනාමයි. ව්‍යාජ දේශප්‍රේමී සටන් පාඨවලට මුවා වෙලා මේ අලුත් අභියෝගවලට පිළිතුරු හොයන්න බැහැ. ඊට වඩා බුද්ධිමත් විදියට අපේ ආරක්ෂාව වෙනුවෙන් අප තර්ක ගොඩනැගිය යුතුයි.

මේ කිසිවක් ගැන විධිමත් කියවීමක් මේ මොහොතේ ලංකාවේ දේශපාලනය තුළ සිදුවෙන බවක් මට පෙනෙන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුව බොහෝ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ අන්ධයා අලියා අතගාපු අන්දමට. මේ නිසා ම ගොඩ එන්න අමාරු දේශපාලන අන්ධකාරයක් කරා මුළු රට ම ගමන් කරමින් තිබෙනවා.

රසික ජයකොඩි
05-11-2020