දින 07ක් සම්පුර්ණයෙන් රට වසන්න සාකච්ජා උනා : නමුත් ජනතාවගේ තත්ත්වය ගැන ජනපතිගේ අවධානය යොමු කළා – හමුදාපති

November 2, 2020 at 8:28 AM

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරිමට හේතුව වුයේ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් එම පළාතේ විසිරි ගොස් ඇති සොභාවයක් වාර්තා වීම හේතුවෙන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

” ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 397 දෙනෙකු වාර්තා වූවා. එයින් 179 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 93ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 33ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

බහුතරයක් ආසාදිතයින් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. මේ එන වාර්තා මිට දින 2-3කට පෙර සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව මෙම ආසාදිත පුද්ගලයින් ගෙන් වෛරසය ව්‍යාප්තවීම සිදුවිය හැකි.

මේ නිසයි කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමට ජනතාව හැකිතාක් නිවෙස් තුලටවී සිටින ලෙසට අපි ඉල්ලා සිටින්නේ. බස්නාහිර පළාතට මෙම දින 07ක කාලය ඇඳිරි නීතිය පැනවූ හේතුවත් එයයි” හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීමට දින 07ක් සම්පුර්ණයෙන්ම රට වසා දමන්න ඊයේ දිනයේදී සාකච්ජා උනා. නමුත් ඇඳිරි නීතිය පැනවීමේදී රටේ සාමාන්‍ය ජනතාව මුහුනදෙන තත්ත්වය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දැඩි අවධානය යොමුවුණා.

දෛනික වැටුපෙන්, කුඩා ව්‍යාපාර මගින් දිවිගෙවන ජනතාව මේ විදිහට ඇඳිරි නීතිය පැනවීමෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවෙන බව ජනාධිපතිතුමා අවධාරණය කළා.

මේ නිසයි ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පමණක් තෝරාගෙන ඇඳිරි නීතිය පැනවීමක්‌ හෝ හුදෙකලා කිරීමක් සිදුකරන්නේ. ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා මහජනතාවගේ දෛනික කටයුතු වලට බාධාවක් එල්ල නොවන අයුරින් මේ සියළු කටයුතු සිදුකරන්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියා.