බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය ගැන අවසන් තීරණය අද සවසට : ඇඳිරි නීතිය ඉවත් නොකරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

November 1, 2020 at 2:26 PM

බස්නාහිර පලාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මේ අවස්ථාවේදී ඉවත් කිරිම කිසිසේත්ම සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ සහ වත්තල ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය සිදුවෙමින් පවතින බැවින් බස්නාහිර පළාතට පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට සහ සංචරණ සිමා දැඩි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ අතර බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනයේ ලැබෙන සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු අදාළ තීරණය ගන්නා බවයි.

කෙසේවෙතත් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඔහු කියා සිටියා.