චීන ණය උගුලක ශ්‍රී ලංකාව සිරවූයේ නැහැ ජනපති ඇමෙරිකාවට කියයි

October 28, 2020 at 4:43 PM

 

ජනපතිගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනය

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා කියා සිටී.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් මා සඳහන් කළ අතර විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක් සහ අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා කළයුතු වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා අපට සහය වන ලෙස ඉල්ලීමි.

තවදුරටත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි ඔවුන්ට පෙන්වා දුන්නෙමි.

ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව මා ඔවුන්ට පෙන්වා දුන්නෙමි. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට මා කිසිවිටෙකත් සූදානම් නැති බව මම ප්‍රකාශ කළෙමි.

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කරමින් නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි මා අවධාරණය කළෙමි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව මා අවධාරණය කළෙමි.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.