කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද් අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.