සිනමා ශාලා, කැසිනෝ, සරසවි ඇතුළු ස්ථාන කිහිපයක් වසා තැබිය යුතු බවට සඳහන් නව කොවිඩ් මාර්ගෝපදේශයක් නිකුත් වෙයි

October 7, 2020 at 11:11 PM

වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජය තුළ පැවැත්වෙන විවිධ උත්සවසහ මහජන ඒකරාශීවීම් පාලනය කිරිමේ නියෝගයන් යළි යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් යාවත්කාලීන කරුණු අනුව මෙය මෙම මස 31 වෙනිදා දක්වා බලපැවැත්වේ.

ඒ අනුව සරසවි / උසස් අධ්‍යාපන ආයතන, සිනමා / රංග ශාලා, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු තැබීමේ මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමරය කුලියට ලබා දෙන ස්ථාන, මත්පැන් ආදි සේවා සපයනු ලබන බාර් ආදිය වසා තැබීමට උපදෙස් ලබාදී ඇත.

ආපනශාලා විවෘතව තැබීමට අවසර හිමිවන අතර පවතින ඉඩ ප්‍රමාණය අනුව එක් අවස්ථාවක් තුළ අසුන් ගත හැක්කේ සියයට 50 ක පිරිසකට පමණි.

කායවර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තඨාකයන්, ළමා උද්‍යාන සඳහා එකවර ඇතුල්වීම හෝ භාවිතා කළ හැක්කේ පවතින ඉඩ ප්‍රමාණය අනුව ඉන් සියයට 50ක ධාරිතාවයකට පමණි.

බෝඩින් කාමර පවත්වාගෙන යෑමට අවසරය ඇති අතර කිසිදු නව සාමාජිකයෙකු ඊට ඇතුලත් කර ගැනීමට අවසරය හිමි නොවේ.

මංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පෙර දැනුවත් කිරිම සහ ඉඩ ප්‍රමාණයෙන් සීයයට 50 ක පිරිසක් පමණක් සහභාගී කරවා ගත යුතුවේ.