ඉන්ධන නෞකාවේ ගින්න නිවීමේ වියදම මිලියන 340යි

September 16, 2020 at 6:19 PM

නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන්ට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පවසනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාර්ඩ් සමාගම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340 ක හානිපූර්ණයක් මෙලෙස ඉල්ලා ඇත.

එමෙන්ම මෙම නෞකාවෙන් පිටවන ඉන්ධන හේතුවෙන් සාගරයට සිදුවන හානිය පිලිබඳ වර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කැඳවා ඇති බවත් ඉහත ගාස්තු සඳහා මෙය ඇතුලත් නොවන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කළේ.

මෙම නෞකාව ශ්‍රී ලංකානු මුහුදු සීමාවෙන් පිටව යන තෙක් එම වාර්තාව සම්පුර්ණ කිරිමට නොහැකි බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දී ඇති බැවින් එම ඉන්ධන කාන්දුව නිසා සාගරික වශයෙන් සිදුවන හානියට අදාළ වාර්තාව පසුව ඉදිරිපත් කරන බවට මෙහිදී නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.