කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි. 46 හැවිරිදි මෙම ගෘහ සේවිකාවට පහරදීම් සිදුකර ඇත්තේ ඇය සේවයේ යෙදවූ නිවසේ හිමිකරුවන් විසින් බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
‘ගල්ෆ් නිව්ස්’ වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව ඇයගේ අනුග්‍රාහකතයන් විසින් අම්රි රෝහලට (Amiri Hospital) ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය එහිදී මියගොස් තිබේ. මෙම කාන්තාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඇයගේ කුවෙට් අනුග්‍රාහක යුවළ අත්අඩංගුවට ගෙන ඇත. රෝහළට ඇතුළත් කොට පැය 02කට පමණ පසු මියගිය මෙම කාන්තාවගේ දේහය කුවෙට් අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා අතුරින් ස්වාමිපුරුෂයා විසින් පාපොච්ඡාරණය කර ඇති ආකාරයට ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික සේවිකාවට ක්ලාන්ත වනතුරු පහරදී තිබේ. එහෙත් තම බිරිය සේවිකාව මරා දැමීමට අදහස් නොකළ බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි ගල්ෆ් නිව්ස් වැඩිදුරටත් වාර්තා කරයි.
කුවේටයේදී අනුග්‍රාහකයන් විසින් පහරදී සේවිකාවක මරා දැමූ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2019 දෙසැම්බර් 29 වැනිදාය. කුවේට් නගරයේ සභා රෝහල විසින් පොලිසියට වාර්තා කර ඇති ආකාරයට තැලුම් තුවාල රැසක් සහිතව රෝහල්ගත කළ පිලිපීන ජාතික ගෘහසේවිකාවක් පසුව මියගොස් ඇත. ඇයට පහරදී තිබුණේද සේවය කළ නිවසේ හිමිකාර යුවළ විසිනි.