ගිනිදැල් මැද දුමෙන් පිරි තිබු නැවේ උඩ තට්ටුවේ සිටි මාව බේර ගත්තේ වීරයෝ තුන්දෙනෙක් : MT New Diamond නෞකාවේ තුන්වන නිලධාරියා කියූ කතාව (PHOTOS)

September 14, 2020 at 3:43 PM

” ගිනිදැල් මැද දුමාරයෙන් පිරී තිබූ නෞකාවේ ඉහල මාලයක පිවිසුම් මාර්ගයක් තුළ වැටී සිටි තමාව ප්‍රධාන මාලය වෙත ගෙනඒම ඉතා අසීරු කාර්යයක් වූ බවත් කෙසේ හෝ නාවික හමුදා පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා උත්සහය මත ඉහල මාලයේ සිට පහත පිහිටි ප්‍රධාන මාලය වෙත තමාව ගෙන ඒමට ඔවුන්ට හැකි වීම තමාගේ වාසනාවට සිදු වූවක් බව” පසුගිය සැප්තැම්බර් 03 වන දින ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ සිට පිලිපීන ජාතික තුන්වන ඉංජිනේරුවරයා ප්‍රකාශ කර සිටිනවා.

තුවාල ලබා සිටි මෙම තුන්වන ඉංජිනේරුවා නාවික හමුදාව මගින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කළ අතර ඔහුගේ දිවිගැලවීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයින් තිදෙනා හට ඔහුව මුණගැසීමට අවස්ථාව හිමිවුවා.

මෙම පිලිපීන ජාතිකයා මුණගැසුන ලුතිනන් කේ.ජී.ඒ.එස්.එම්. විජේරත්න, නායක ඉංජිනේරු කාර්මික ඩී.එල්.කේ. මුදියන්සේ සහ බල නාවික ඩබ්.ජි.ජි.යු. සේනාරත්නය.

මෙම අනතුර වාර්තාවූ පසුව පළමුවෙන් එම ස්ථානය වෙත ලඟා වූ ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ අණදෙන නිලධාරිගේ ක්‍ෂණික තීරණ ගැනීම සහ දැඩි අධිෂ්ඨානය මගින් වටිනා මිනිස් ජීවිතයක් ගලවා ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඒ පිළිබඳව තම හෘදයාංගම ස්තූතිය තමාගේ දිවි ගලවාගත් නාවික පුද්ගලයින් තිදෙනාටත් සමස්ථ නාවික හමුදාවටත් පුදකළ ආපදාවට පත් නෞකාවේ තුන්වන ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටද සිය ස්තූතිය පුද ක‍රන ලදියි.