“කොවිඩ් ණය” සහනය ලබාගත් තමාට අයුතු ලෙස දඩ සහ පොලී නියම කළැයි ශ්‍රී ලාංකික ගුවන් නියමුවකු ශ්‍රී ලංකා මහ බැංකුවට, නීතිපතිවරයාට සහ පෞද්ගලික වාණිජ බැංකුවකට එරෙහිව නඩු පවරා ඇත.
දසනායක කම්කානම්ලාගේ නන්දන ප්‍රියංග දසනායක නම් මෙම පුද්ගලයා දැනට වියට්නාමයේ ගුවන් නියමුවකු ලෙස සේවයේ නියුතුව සිටින අතර ඔහුගේ බිරිඳවන නිරූෂා ප්‍රියන්ති දසනායක හරහා කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ 2020 අගෝස්තු 31 වැනි දින 157/20/MR අංක යටතේ මෙම නඩුව පවරා තිබේ.
පැමිණිලිකරු පවසා ඇත්තේ තමා විදෙස්ගතව රැකියාව කරමින් සිටින අතරතුර ඉහත විත්තිකාර පෞද්ගලික බැංකුවෙන් ලබාගත් නිවාස ණයක් ආපසු ගෙවමින් සිටින අතරතුර කොවිඩ් ව්‍යාප්තවීම හේතුවෙන් අසීරුතාවට පත්වූ බවයි. එලෙස අසීරුතාවට පත් විදෙස්ගත ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදුන් ණය සහනය තමා විසින්ද ලබාගත් බව ඔහු පවසයි.
පැමිණිලිකරු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ලබාදී ඇති නියෝග සහ උපදෙස්වලට අනුව එම බැංකු විසින් අය කළ යුතුව ඇත්තේ සහනය ලබාගත් කාලසීමාවට අදාළ සීමාසහිත පොලිය සහ දඩ මුදල් පමණක් බවයි. එහෙත් විත්තිකාර පෞද්ගලික බැංකුව මහ බැංකු නියෝග හා උපදෙස් නොතකමින් තමා ඉදිරියට ගෙවිය යුතු නිවාස ණයෙහි සමස්ත ‘හිඟ මුදල’ වෙනුවෙන් පොලී මුදල් ගෙවන ලෙස තමාට නියම කර ඇතැයිද පැමිණිලිකරු ප්‍රකාශ කර තිබේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවද අවස්ථා කිහිපයකදී නිකුත් කළ චක්‍රලේඛ සහ උපදෙස් මාලාවන් එකිනෙකට පරස්පර බව පෙන්වාදී ඇති පැමිණිලිකරු එම නිසා තමා ඇතුළු කොවිඩ් -19 ණය සහන ලබාගත් විශාල පිරිසකට අසාධාරණ ලෙස දඩ සහ පොලී මුදල් ගෙවීම සිදුව ඇතැයි ප්‍රකාශ කරයි. එසේම මෙම අවුල් සහගත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද විමසීම්වලදී පැහැදිලි පිළිතුරක් ලබා දී නැතැයිද පැමිණිලිකරු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(මුලාශ්‍ර : අරුණ පුවත්පත)